Thursday, October 8, 2009

අමුතු කතාවක්. 3 කොටස

සමාවන්න මා පටන් ගත් කතාව දිගටම කීම පමාවීම ගැන. ජීවිතේ හැටි එහෙමය. කතාව ගලා යන්නේ අපට ඕනෑ හැටියට නොවේ. ජීවිතය දොළ පහරක් බඳුය. ඊළඟ මොහොත වංගුවක් සේම දිය ඇල්ලක්ද විය හැකිය.
සුජීව ප්‍රසන්න ආරච්චිගේ දුර්වල නව කතාවක වස්තුබීජය බඳු වංශවත් සිංහල යුවතියක් අතේ සතේ නැති දෙමළ කම්කරුවකු හා එක්වීම තුළ බිහිවූ කලල රූපය පස් හැවිරිදිව පිළේ වාඩිවී සිටියේය. පස් හැවිරිදි දරුවකුට තම විජිතයේ රජුද රැජනද දෙමාපියන්ය. දුර්වල නව කතාවක පිටු අතර මිස සැබෑ ජීවිතයේදී සාමාන්‍යයෙන් දකින්නට නොලැබෙන ආකාරයේ සිද්ධියකින් ඔහු කැළඹීමට පත්ව සිටියේය. කවුදෝ නාඳුනන පිරිසක විසින් එදින සවස කෙහෙවල්ලෙන් ඇද පහර දී තිබුනේ ඔහුගේ විජිතයේ රැජනටය. කොයිතරම් කුරිරු වුවද මිනිස්සු සාමාන්‍යයෙන් මිනිසකුගේ වැරදි නිසා ඔහුගේ බිරියට පහර දෙන පහත් තත්ත්වයට නොවැටෙති. එසේම වංශවත් කුල පරම්පරාවකින් පැවත ආ අම්මා පිට මිනිහෙකුගෙන් නිසොල්මනේ පහර කා දරා ගන්නා ජාතියේ ගැහැණියක නොවූවාය. මේ දුප්පත් පියා සමඟ එක් පන්තියක සිට තවත් පන්තියකට, එක් ජාතියක සිට තවත් ජාතියකට මාරු වන්නට තරම් නිර්භීත වූ මේ ගැහැණිය මේ තරම් සරල ලෙස පිට මිනිහෙකුගෙන් ගුටි කා නිහඬ වූයේ ඇයි?
මේ සිද්ධිය ඇත්තටම සිදුවීද නැත්ද යන්න මම අදත් කල්පනා කරමි. පස් හැවිරිදි දරුවකුගේ මතකය දුඹුල්ය. සැබැවින්ම සිදුනොවූ දේද සිදුවුනු ලෙසින් මතකයට එක්වීම නොවැළකිය හැකිය. මේ අපැහැදිළි සිද්ධිය පසුව මට අත්විඳින්නට සිදුවූ සිද්ධිදාමයක ප්‍රතිඵලයක් සේ මගේ මනසට රිංගා නොගත්තා නොවිය හැකිද?

මේ සිද්ධිය හිතළුවක් වෙතත් නැතත් ඊට සම්බන්ධ තවත් රූපරාමු දෙකක් මගේ මනසේ තැන්පත්ව ඇත්තේය. මේවා මනසට පිවිසියේ පස් හැවිරිදි වියේද නැද්ද යන්න මම නොදනිමි.

කතාවක් නැතිව නිසොල්මනේ බූරු ඇඳ මත හිඳගෙන ප්ලේන්ටී කෝප්පය තොළගාන අප්පා!

අවුල් වූ කෙහෙරැළින් යුතුව නැවී ලිපට පිඹිමින් රොටී හදන අම්මා!

හවස අදාළ සිද්ධිය සැබැවින්ම සිදුවී නම් අප්පාගේත් අම්මාගේත් මේ නිවුනු හැසිරීම අපේක්ෂා කළ හැකිද?

"දීපං ඔය මන්න පිහිය මෙහාට. මං ගිහින් උඹට අත තියපු වලත්ත බල්ලගෙ බොකු බඩ වැල් එළියට ඇදලා එන්ඩ!" අප්පා නොකියන්නේ ඇයි? මිනිසකුට මෙතරම් නෝන්ජල් විය හැකිද? ජීවිත කාලයක් තිස්සේ අනුන්ට බැල මෙහෙවරකම් කළා වුනත් අප්පාට ආත්ම ගෞරවයක් කියා දෙයක් ඇත්තේම නැද්ද? පැත්තක ඉන්නා මිනිසකු තමන් ගෙදර නැති අවස්ථාවේ පැමිණ භාර්යාවට පහරදී යෑම ඉවසන පිරිමියකුත් වෙත්ද?

"මදෑ මං මිනිහෙක් එක්ක ආව. ඌ මිනිහෙක් නෙවෙයි පඹයෙක්. මට උං ඇවිත් තඩිබාල ගියාට උඹට කරන්න දෙයක් ඇත්තේම නැද්ද යෝදයෝ?" යි අම්මා නො අසන්නේ ඇයි? මේසා බැරෑරුම් සිද්ධියක් මෙත් සිතින් දරා ගනිමින් රොටී පිළියෙළ කරන්නට ලෙයින් මසින් හැදුණු ගැහැණියකට හැකිද?

මේ සිද්ධිය මට පසු කලෙක අසන්නට ලැබුණු සත්‍යය විය හෝ නොවිය හැකි කාරණා සමඟ කෙසේනම් ගැළපිය හැක්කේද?

"ඒයි මට උඹට කතාවක් කියන්න තියෙනවා!" අට හැවිරිදි වියේදී පමණ මට කීවේ ලයනල්ය. මට පන්ති දෙකකට ඉහළින් සිටි ලයනල් මේ අවදියේදී මගේ එකම සගයාය. පාසැලේ හැම දෙනකුගෙන්ම කොන්ව, එකදු මිතුරකු හෝ අහිමිව සිටි මට සමීප වීමට තරම් නිර්භීත වූයේ ලයනල් පමණි. එය පුදුමයක්ද නොවේ. මීනීමැරුම් නඩුවකින් වරදකරු වූ ලයනල්ගේ පියා සිටියේ දීර්ඝකාලීන සිර දඬුවමක් ගෙවමිනි. දෙතොල් රතු කරගෙන හවස් කාලයේ ලේක් හවුසිය අසළ ගැවසුණු ලයනල්ගේ අම්මා ඉඳ හිටෙක ඇය අසළ නතර කරන රථයකට ගොඩ නඟිනු දුටු අය සිටියහ. මට සේම ලයනල්ටද නැතිවන්නට දෙයක් තිබුණේ නැත. අපි එක අත්තක වැසූ කුරුල්ලන් වීමු.

"උඹලගේ තාත්ත උඹලගෙ තාත්ත නෙවෙයි."

"මොකක්?"

"උඹට මේව කියන එක හරිද මන්දා. උඹලගෙ අම්මව බඩ කරල තියෙන්න කැම්පස් එකේ හිටපු කාලෙ බැච් එකේ කොල්ලෙක්ලු. පස්සේ ඌ මඟ ඇරියලු. උඹව නැති කරන්න හැදුවලු අම්මගේ අප්පච්චිලා. ඒක වලක්ව ගන්න තමයි උඹලගේ අම්මා පොඩිකාලෙ ඉඳන් දැනං හිටපු උඹලගෙ අප්පත් එක්ක පැනලා ඇවිත් තියෙන්න මහ රෑක."

අට ඇවිරිදි දරුවකු භ්‍රාන්තියට පත් කරන සුළු මේ කතාව මගේ චිත්ත සන්තානයේ වෙනසක් ඇති නොකරයි. දරුවකුට වුව දරාගත හැකි දේ සීමාවක් ඇත. පමණ ඉක්මවා බිය වැද්දූ කළ, කෙනෙකුගේ සිතින් බිය පහව යයි. පමණ ඉක්මවා අවමන් කළ තැන කෙනකු අවමන් නොසළකා හරින්නට පුරුදු වේ. වසර ගණනක අප්‍රසන්න සිදුවීම් දාමයක් මා රොබෝ පැටියකු බවට පත් කර ඇත්තේය. මා අසන කිසිවක් තව දුරටත් මා විස්මයට පත් නොකරයි.

"උඹට කීවෙ කවුද?" මා අසන්නේ එපමණකි.

"උඹට ඕනැ නෑනෙ ඒවා!"

අම්මා විශ්ව විද්‍යාලයකට ගියා යැයි මා කවදාවත් අසා නැත. ඈ කිසිදිනෙක ඒ බවක් නොකීවාය. නමුත් යාන්තම් අකුරු ගැටගසා දිනපතා පුවත්පත් කියවන්නට තරම් උගත් වූ අප්පාට සාපේක්ෂව ඈ ලෝකය පිළිබඳව දැනුමැත්තියක වූවාය.

අපේ පුංචි පැළට නිරන්තරයෙන් පැණ එන ගෙම්බකු දකින අම්මා මට උන් ගැන බොහෝ දේ කියා දෙයි. ගෙම්බා දිය ගොඩ දෙකෙහිම වසන සතකු බවද, වැඩිපුර දියෙහි වසන ගෙම්බන් හඳුන්වනු ලබන්නේ මැඬියන් ලෙසින් බවද ඇය කියයි. දිනෙක මැරී සිටින ගෙම්බකු දුටු අම්මා පිහියෙන් උගේ බඩ පළා සිරුර තුළ අවයව මට පෙන්වූවාය. කුඩා දරුවකුට ඉන් උගත හැකි දෙයක් ඇත්ද මම නොදනිමි.

"ඒයි, උඹ දන්නවද? උඹලගෙ අම්මා ඉගෙන ගත්තෙ දොස්තර නෝන කෙනෙක් වෙන්නලු" මේ කතාවද මට කීවේ ලයනල්ය.

මම ඊට සිනාවෙමි. මගේ අම්මා දොස්තර කෙනෙක්? මට එය සිතා ගන්නට වත් නොහැකිය.

මම සියල්ල අමතක කොට වර්තමානයට එමි. කඨෝර හඬකින් ගී ගයන්නේ අල්ලපු කඩේ රේඩියෝ එකය.

"ආදර හැඟුම්.....
ආදර හැඟුම්......
ආ....දර...... හැඟුම්......."

අමුතු කතාවේ 3 කොටස ලිව්වේ
Taboo

Wednesday, October 7, 2009

අමුතු කතාවක්. 2 කොටස

කෙළිලොල් සිනහවක්, හුරතල් දාංගලයක් සහ පිරුණු සිහින් ශරීරයක් හිමි ඇයව කාගේත් අවධානයට ලක්වන්නේ නිතැතින්මය. අට දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සා වූ ස්වර්ණා මැණික් බණ්ඩාර පුංචි සන්දියේ සිටම ඉගෙනීමට උපන් හපන් දැක්වපු අයෙක් විය. තම අධ්‍යාපන කටයුතු දැඩි අධිෂ්ඨානයකින් යුතුව කළ ඇය, පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමට බැඳී සිටි අයවලුන්ගෙන් පෙරමුණ ගන්නියක් විය. එහෙත් අභිරහස් ලෙස මෙලොවින් සමුගත් තම මෑණියන්ගේ වියෝවෙන් පසු, ලෝකයට පෙනෙන්නට එක් සිනහවකුත් හදවතේ දැවෙන මහා ගින්දරකුත් මේ සියල්ලම කණපිට පෙරලන්නට සමත් වීම පුදුමයට කරුණක් යැයි ඇග්නස් නැන්දා හූල්ල හූල්ල කඳුළු පිස දමපු හැටි මගේ මතකයේ පරමාණුක අංශුවක් සේ ඉතිරි වී තිබුණේය.


අද ඒ කෙළිලොල් සිනහව ඉකි බිඳීමක් බවට පත්ව ඇත. දාංගලයක් නොතිබූ ගානය. වැරහැලි වී ඇති අම්මාගේ සිරුර දකිනවිට අප්පාටත් ආතතියක් හෝ එයට සමාන වූ හැඟීමක් ඇති නොවේ යැයි සැක කළ හැකි කිසිවක් ඔහුගේ බැරෑරුම් ඇස් වලින් ප්‍රකට නොවන්නේය. නොයෙකුත් දරිද්‍රතා මැඩගෙන ඉදිරියට ඇදෙන අපේ පවුල් සූත්‍රය වෙඩි වැදී මිය යන දැවැන්ත ඇත් රජෙකු හා සමානය යන්නත් හැඟී යන වාර ගණන අනන්තය අප්‍රමාණය. ඔහු එක එල්ලේ අම්මාගෙන් කිසියම් දෙයක් විමසනවා මම දැක නොමැත. එහෙත් අද සවස වූ සිද්ධිය පිටුපස ඇති සුලමුල සිතාගැනීමට නොහැකි තරම් අප්‍රාණික දැනුමක් ඔවුන් දෙදෙනාටම අහිමි වී නොමැති බව ඉතාම පැහැදිලිය.


"මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒගොල්ලන් ඇයි අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නැත්තේ ?"


ලෑලි වලින් ඉදිකර තිබූ නිවසේ ලී කඳන් වලට පණ ඇවිත් යකා නටාන්නාක් මෙනි. මහ වැස්සට පෙර හමන සුළඟට ඒ අභිමුව නොසෙල්වී සිටීමට ඇති අවකාශය රික්තකයක් සේ පෙනීයයි. ටකරන් වහලයට වැටෙන පොල් ගෙඩි තරම් වූ වැහි බිංදු, කණ් අඩි පතුලටම කිඳා බැස "ටක් ටක්" යන නාදය පමණක් ඇතුළු වීමට සලස්වා ඇති හැඩකි. නිකටේ අත්ල තබාගෙන බොරළු පාරේ වක්‍රාකාර සිතුවම් අඳින විලාශය දෙස ඇය මහත් ඕනෑ කමකින් බලාසිටියි. දෙඇස් අගින් කඩා හැලෙන ලුණු රසැති වතුර බිඳු මැටි පොළව වෙලාගන්නේ කිරට පැණි මෙන්ය. දිනකට එක් වතාවක් හෝ එහි රස නොබැලූවොත් පොළවට එය වාරණය කළ කෑම වේලක් වන්නේය. කඩේ මුදලාලිගේ වෑර්ලස් එකේ ප්‍රචාරය වන ගීතය කෙඳිරිලි හඩක් මෙන් ඇසෙයි.


“ ආදර හැඟුම්.....
ආදර හැඟුම්.....
ආ.....දර........ හැඟුම්.......”


අමුතු කතාවේ 2 කොටස ලිව්වේ
Anjana Jayaweera

Thursday, October 1, 2009

අමුතු කතාවක්. 1 කොටස

"හිතට ආපු දේත් එක්ක සමකරන්න වටපිටාවෙන් උදාහරණ හොයාගන්න බැරි තරමට වටපිටාවේ උදාහරණ පිරිලා. මම මේ කියන්නට යන්නේ මහාලොකු සමාජ විද්‍යාවක් නෙවෙයි. නමුත් මගේ කතාව ඇතුලේ සම්බන්ධවෙලා ඉන්න ඉදිරියට සම්බන්ධ වෙන ජීවිත ගැන කියන්නට වෙන පරිකතා ප්‍රමාණය මත තමා මගේ ජීවිතය මරණයකින් කෙළවර වෙනවද.., එයට තව දශක කිහිපයක් හුස්ම ගන්න අවසර දෙනවද කියන එක තීරණය වෙන්නේ.."

මම දිනපොතේ අද දිනයට වෙන්වී ඇති කොටසේ අවසන් තීරුව තෙක්ම ලියා අවසන් කළෙමි. තව හෝරා කිහිපය කින් මා ජීවිතයට මුහුණ දෙන්නට වෙන ඒ අත් දැකීම් සමූහය පිළිබඳ මා තුළ ඇත්තේ අවිනිශ්චිත බියක් නොව උමතු අහ්ලාදයකි. හැමදේම මුළාවකි, මායාවකි. වෙනස නම් අපි යථාර්තය ලෙස මුහුණ දෙන හැම අත්දැකීමක් ම අපව තව තවත් මේ මුළාව නම් ගොහොරුවේ පතුළට ම කිඳා බැස්සවීම ය. මම අනුරාධ නදියවන් වෙමි. සිංහල මවකටත් දමිළ පියෙකුටත් දාව පිළිසිඳුනු මට වැල්ලවත්තේදී වින්නඹුවක් විසින් උප්පත්තිය ලබාදී තිබිණි. පියා දෙමලෙකු වූ පාපය කරණකොට ගෙන මාගේ මව ඇයගේ වලව් පරම්පරාවෙන් පිටමං කර තිබිණි. ඒ ඈගේ පෙම වතු කම්කරුවෙකුට පුද කළ වරදට ය. කාසිකාර දෙමවුපියන්ට දාව රත්තරං හැන්දක් මුවතබා ගෙන මේ ලොව එළිය දකින්නට තිබූ වරම මට අහිමිවිය. ඒ මම දෙජාතියක මුහුන් උප්පත්තියක් වීම නිසාය. මගේ සීයාගේ නොහොත් වළවුවේ හාමු ගේ දුව හා පෙමින් බැඳීමේ වරදට වන්දි ගෙවන්නට වූයේ මා පියා වූ නදියවන්ගේ මාපියන් ට ය. ඔවුන් සමාජය ඉදිරියේ පවුකාරයන් වන්නට විය. අසූව දශකයේ අග භාගයේ එක මූසළ රාත්‍රියක නන්නාඳුනන පිරිසකගේ ප්‍රහාරයට හසුව ටයර් සෑයක් මත දැවෙන්නට වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

1990 මගේ ජීවිතය තැනින් තැනට විතැන් වීමට පටන් ගත් වසරයි. ජීවිතය තුල කාලාන්තරයක් රස්තියාදු ගැසූ මම අවසන නතර වන්නට වූයේ තව හෝරා කිහිපයකින් මාවෙත එන මරණය ඉදිරියේයි.

මේ ඔබ කියවන්නේ මගේ ජීවිත කතාවයි.

ලෙඩකට බෙහෙත් බොනවා නම් එය ලෙඩේ නිට්ටාවට සනීප කරන බෙහෙතක් විය යුතුය. එය ජීවිතය සම්බන්ධයෙන් මොනතරම් වළංගුදැයි කියන්නට මම නොදනිමි. පැය මිනිත්තු හරණය වී ආපස්සට දිව යන විරාම ඝටිකාවක් සේ අසුරු සැනින් මගේ සිත අතීතයට දිව යයි.

.........................

මා අවදි වූයේ අම්මාගේ තුරුළේ සිටය. ඒ ඇයගේ හිස පිරිමැදීමකින් නොව පිටස්තරයෙකුගේ කෑ ගැසීමකට ය. මහ හඬින් දෙපලු වී ඇඳ අසල ට වැටුණු දොර පළුව උඩ සිට ගත්, දොර කඩා ඇතුළට ආ නඩයෙන් එකෙක් අම්මාගේ කෙස් වරළෙන් අල්ලා මෙසේ ඇසීය.

"කෝ යකෝ රාජා....?"

සෙල්වරාජා නදියවන් යනු මගේ පියා බව එවකට 5 වැනි වියේ පසුවූ මාගේ මතකයේ තිබිණි.

"කැරි බල්ලා අපේ කඩවල් වල වැඩ කරලා, තියෙන හයිරං පාට් දාලා, ආවා අපිව මට්ටු කරන්න. කෝ ඕකා..? කෝ වේසියේ තොගේ මිනිහා...? කියපිය.., නැත්තං මෙතනම තිට කෙළවල යනවා...!"

ඒ වන විටත් අපේ පැල දෙපස මේ නෙයියාඩගම ඇසී මුඩුක්කුව දෙපස අය රොක්වී සිටියහ. ඇයගේ කෙස්වැටියෙන් අල්ලාගෙන අසන්නට බැරි තරම් අපුල වදන් වලින් කැනහිලුන් සේ කෑ මොර දෙද්දී අම්මා කලේ නිහඬව පරඬැලක් සේ ඉකිබිඳීමයි. ඒ වන විට පස්වියැති වූ මගේ සිතේ වඩාත් පැළපදියම් වූ ගැටලුව වූයේ, තම වංශවත් පරම්පරාව අතහැර දමිල කම්කරු පුතෙකු හා පැමිණි මේ ගැහැණිය, ඉන් දස වසක් ඉක්ම යන්නටත් මත්තෙන් තම වරිගයේම උන් ගෙන් තම සැමියා ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙනෝදාහක් මධ්‍යයේ නින්දාපහාස විඳින්නට තරම් අවාසනාවන්ත වූයේ ඇයි යන්නයි.

අප්පා එන විට රෑබෝවී තිබිණි. රාත්‍රී නවය දහය වන විට මා කුසගිණි වන බව දන්නා අම්මා සිටියේ කබල මත රොටියක් තවමිනි. ඒ වන විටත් වටින් පිටින් අද සවස වූ සිද්ධිය ආරංචි වී සිටි අප්පා සිටියේ කම්පිතව ය.


අමුතු කතාවේ 1 කොටස ලිව්වේ
Lishan Puwakowita