Sunday, December 12, 2010

අමුතුකතාවක් 18 කොටස

තමරිගේ ඇස් දිගු ව්‍යායාමයක...
ඉදිරිය දෙස, මා දෙස, නැවත ඉදිරිය දෙසටද ඉන්පසු පැති කණ්ණාඩි දෙසටද ඇගේ ඇස් දිවයයි...

අපි කොහේ හරි නිදහස් තැනකට වෙලා කතා කරමු.”
ඈ මොහොතකට පෙර එහෙම කීවාය.

ඒ නිසා අපි උන්නේ නිදහස් තැනක් සොයන ගමන්..කතාබහක නිරත වෙන්න නිදහස් තැනක්.. මටත් නිදහසක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් පැවතුණ වෙලාවක් ඒක. එක ජීවිතයකටත් වඩා බර රැගෙන මා පසුපසම හඹාගෙන එන යම්කිසි අශුභදායී දෙයකට තිබුණ එකම පිළිතුර ඒකයි. නිදහස කියන ලස්සන වචනය...

තමරි පැති කණ්ණාඩියෙන් සැරින් සැරේට විමසන ආපස්සට මම අතීතය යැයි සිතින් නම් තැබුවේ මීට මොහොතකට කලිනුයි.. ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ඇදී ඇවිත් අප දිහාවට දිවෙන වාහන අපේ ඇස් මායිම් පසු කරමින් ඔහේ නොපෙනී යද්දි මම ඒවාට හැඟීම් විරහිතවම සමු දෙමින් හිටිය. ‍

එතන තිබ්බෙ මම දැන් අත් විඳින මගේ අතීතය සමග ඕනෑම මොහොතක හුවමාරු කර ගැනීමට‍ මම කැමති වෙනස් අතීතයක්. මම ඒ අතීතය දිහාවට, එනම් තාරපාරේ පසුකර ආ දිසාවට ආයෙත් හැරිල බැලුව.. පසුපසට ඇදී යමින්, නොපෙනීයමින් තිබුණු පාලු බස් නැවතුමක් මගේ නෙත ගැටුනෙ එතකොටම වගේ. ඒත් එක්කම මොහොතකට කලින් බස් නැවතුමේ සිදුවූ හමුවීමෙන් නැවත කඩා පිහිටවනු ලැබූ ම‍ගේ අතීතය රැගත් අවකාශයත්, මේ මොහොතේ මගේ වියයුතුයැයි මම ප්‍රාර්ථනා කරන අතීත අවකාශය ඇතුළ පිහිටපු මේ දැන් පසු කරන ලද බස් නැවතුමත් ගැටෙන්නට පටන් ගෙන ඇති වගක් මට වැටහුනා.

හැඟීම් විරහිතව සමුදිය නොහැකි බස් නැවතුමේ හමුව දිහාවට මම සීඝ්‍රයෙන් ඇදීයන එක වලක්වන්නට තමරිගේ ඇස් වලටත් බැරි සෙයකි...

බස් නැවතුම් පලේ ගැහැණිය නොනවත්වාම ම‍ගේ මුහුණ හැඩරුව පිරික්සද්දි මගේ මනසේ ගැඹුරක නන්නාඳුනන අනතුරුදායක සේයාවක් සැරිසරනව මට දැනෙන්න‍ට පටන්ගෙන තිබ්බා. මම ඒ විස්තර කළ නොහැකි භීතිය අමතකබවේ සහ නිර්වින්දනයේ ඇතුලාන්තයකටම තල්ලුකොට සැහැල්ලුවක් ආරූඪ කරගැනීමට වෙහෙසෙමින්....

එකම මූණුවර තියන අය කොයි තරම් ඉන්නවද අම්මෙ.

නැහැ ළමයො. මේ ළමය නම් ඇරපු අතක් නෑ............

මහ හඬින් නලා හඩවමින් ආපු බස් රියක් ඇගේ අවසන් වදන් කිහිපය යට කරගෙන ගියා...

එතකොටම නලා හඬ දෙමින් මා අභ්‍යන්තරයේ ඉඳන් නැගී හිටගෙන මගේ හාත්පස වැතිරෙන්නට උත්සාහ දරන්න ගත්තෙ මගේම අතීතයයි. මොහොතකට පෙර අනතුරුදායක සංඥාව දැල්වුණේ ඒ දිහාවෙන් විය යුතුයයිද, මේ මොහොතේ ප්‍රශ්නයකට ඇත්තේ ඒ නොදන්නා දෙය සමග ගැටීම සහ පළායාම අතරේ දෝලනය පමණක්ම බවද මට තේරුම් යන විටදීම ගැහැණිය මොහොතකට පෙර නලා හඬින් වැසී ගිය සිය වදන් පෙළ ආපහු මා දෙසට මුදා හැරියා.

රංජි මල්ලි වගේමයි..

රංජි මල්ලි?”

ඔව්
ඈ සිනහවක් රඳවා ගනිමින් පැවසුවාය. එය අතීත මතක වැළක් ඔස්සේ මං සොයාගෙන සපැමිණි සිනහවක්.

රංජි...රංජිත්....රදා වඩුගෙදර රංජිත්...
මම සිතින් මුමුණගත්තා.

මගේ අතීත මතක වැල් දිගේ ඇදී එන්නට තතනන්නේ සිනහවක් නොව... කාල බෝම්බයක්..



ටික් ටික් ටික් ටික්.......

තමරි වම් පැත්තට හැරවීමේ සංඥාව යොදල වාහනේ කුඩා අවන්හලක් දෙසට හරවනව.

මෙතැන හොදයි..මම දන්න තැනක්

මම වාහනෙන් බහිනව. බස් නැවතුමේ හමුවීමත් ඒ හරහා මගේ අතීතයට වැටෙන මාර්ග කරා දිවෙන තවම සිදුනොවූ හමුවීම් ගැනත් සිතන එක පසෙකලා මේ මොහොත වෙත හිත රඳවාගන්න උත්සාහ කරමින්.

කාල බෝම්බය තාම පිපිරිලා ගිහින් තිබුණෙ නෑ...ඒ වෙනුවට බස් නැවතුමේ හමුවූ ගැහැණියගෙ ලිපිනය රැගත් කොළකෑල්ල සුරක්ෂිතද කියල බලන්න මම මගේ සාක්කුව අතගානව.


අමුතු කතාවේ 18කොටස ලිව්වේ