Sunday, November 29, 2009

අමුතු කතාවක්. 5 කොටස

"අයිඩෙන්ටිය...?"


"ඔව් නැතුව වෙන රෙද්දක් මම තමුසෙගෙන් ඉල්ලුවා ඇහුනේ නෑනේ...?"


"මේ... මේ...,"


"මොකෝ තටමන්නේ තමුසේගේ නම කියනවා බලන්න..,"


"නදියවන්"


"න...නදියවන්...?"


"ඔව්.."


"සාජන් මහත්තයා..., සාජන් මහත්තයා.., මූ දෙමලෙක්ය කියන්නේ...!"



කොස්තාපල්ගේ කෑ ගෑමත් සමඟම ජීප් රියෙන් බැස ආවේ උත්තුංග දේහධාරී රේඩියෝ මැසෙන්ජරයක් අතින් ගත් පුද්ගලයෙකි.

"අයිසේ මේ පී.සී..., ඔය යකාව අත ඇරලා දාලා එනවා යන්න හිල්ටන් එක ගාව ඇක්සිඩන්ට් එකක් වෙලා ලු..,"

"අදට විතරක් තො බේරුනැයි කියලා හිතා ගනු...,පල යන්න කිව්වෙ මෙතනින් මකබෑවෙලා යන ගුබ්බෑයමක ට..."


නදියවන් නම ඇසූ සැනින් උන් හිත් තුල සැකයක් ඇති කලේ හිඟන්නාගේ තුවාලය මෙන් සදාසුවයක් නොලබන මේ කාළකණ්නි යුද්ධය නිසා ය.
එක අහසක් යට ඉන්න අපේ ම එවුන් මරා ගන්නා හැටි...?

නිමේෂයක ට, නන්නත්තාරේ යන කාලකණ්නියෙකු වූ මම බලා උන්නේ ඒ රොද හතර ඈතට යනු දෙස ය.
දවසක් මම, අනෝරාවක් වැස්සක ට පසු මිදුලේ පෑදී තිබූ පුංචි දියවලක මුදුන් වී තිබූ හඳ අල්ලන්න තනද්දී අපේ අම්මා කිව්වේ..,

"පුතේ හඳ අපිට ගොඩක් දුරයි....,

හඳ අපට ගොඩක් දුරයි මගෙ පුතේ..."


අම්මා මා අල්ලන්ගියේ මගේ මඩ තැවරුනු දෑත සෙනෙහෙබරව ඈ ගවුම් රෙද්දෙන් පිසදා ය.

....................... මාරස්සන ඉඳන් දවසක් ට වාර ගණනක් සෙංකඩගල ට ආවගියද, තමරිව දකිනතුරු, මම දැවැන්ත සුවිස් හෝටලය විනා ඒ ඉදිරිපස, නුවර වැව වෙත නැවී හිනැහෙන ඇසල මල් ගහ දුටුවේ නැත.බස් එකේ යන එන තුරු, වැවේ බෝට්ටු, වතුර මල බැලුවද, එළි වැටි, නුවර වැව් පවන් රොදින් රැළි වැටුණු ඒ හඳේ ලස්සන දැක්කේ ද නැත. මාළිගාව වටේ පුන් හදවතින් යුතුව ඔබ හා ඇවිදිත් දී, මා හට කට වහන්න ට බැරි වූ නුවර වාචාල කොල්ලන් ගේ මුවෙන් වැහැරෙන..,

" ෂහ් මරු බඩුව නේද? "


කියා මා සවනත උන්ගේ මුග්ධ වදන කණ වැකෙණ විට මා හදවත මුමුණන්නේ

'තමරී.., නුඹ බඩුවක් වත් ගෙඩියක් වත් නොව............, මා අමාවක පැතූ සඳවතිය' බව ය.


පෙම් හැඟුම් පිබිද නිබඳව ම පය එසැවෙන්නේ නානාගේ මුස්ලිම් හෝටලයට ය. එසේ යද්දී සෙනඟ අස්සේ ඇස ගැටෙන්නේ ඉංගිරිසි අකුරු තුනේ කුකුල් මස් කඩේ ඉදිරිපස කිරිනැති තණයක් උරන දරුවෙකු අතින් රුවා ගත් මවකි...,

"අනේ පවු අහිංසක දරු පැටියා"


යැයි ඈ පවසත් ම ඈව තරව අති අල්ලා ගන්නට සිතුනද මසිත ඊට පසු බෑවේ එවකට මා හද තුල වූ දේ ඈ හාංකවිසියක් වත් නොදන්නා බැවිණි.

හදිසියේ මා සිත දුවන්නේ මෙයට මාස 4 කට පෙර දළදා මාළිගාව අසබඩට ය.
ඒ අප දෙන්නට දෙන්නා එකිනෙකා ට කෝඩුකාර වූ කාලයයි.., මාළිගාවේ බතික් කඩේ ඉස්සරාහ සිට මදෙසට හැරුන ඈ යමක් පවසන්න ට තනන්නේ නෙතට හොරෙන් ය.

"වහිනවා නේ..?"


"හ්ම්ම්ම්"


"එන්න කුඩේ යටට..!"


පොද වැස්ස ට තෙත් වූ අප දෑත් එකිනෙක ස්පර්ශය, හිත ඇතුලේ අකුණු ගසන්නක් මෙන් විය.

"නම මොකද්ද..?"


මම ඇසීමි

"තමරි... තමරි මල්ෂිකා"


ඈ පිළිවදන් දුන්නේ පොළවට ය.

නම ඇසුනද, ඒත් සමඟ ම කුඩය උඩට වැටුනු පුලුන් ගෙඩිය මා හිසට වැටුනේ විසල් රිදුමකුත් සමඟ ය. ඔලුව අතගා ඇස් අරින විට මම තාමත් පහන් කණුව යට ය.
හිතේ වේදනාව හා වූ හිස් වේදනාව දැන් වැඩිය.
අතීතය සිහිනයක් පමණයි යන සරින් ළඟම නැවතූ ත්‍රීවීලරය කින් ඇහෙන්නේ, මට පමණක් ද..?

බම්බුව..... මේ යක්කු අපිට කියන්නේ මැරිල ඉපදෙන්න කියලද...?


තාමත් මම ගාලු පාරේ පහන් කණුව යට ය... දින කිහිපෙක අරගලයකින් පසු පොඩි කඩයක කැශියර් උනේ වාසනාවට ද අවාසනාවට ද...? මමත් සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතාවක වස්තු බීජයක් උනා නම් නවතින්නේ ධනපතියෙකු වීය. ජීවිත ඔය කියනා තරම් මල් පාත්තියක් නොම වෙයි. ආදරයේ වේදනාව, වළාකුලු යට පාවෙනවා වගේ නොම බව මා හට දැනී අවසානය.

මා හිත එක වරම තිගැස්සී ගියේ අහම්බයෙන් දුටු රුවක් නිසාය...





අමුතු කතාවේ 5 කොටස ලිව්වේ
කාවින්ද හෙට්ටිආරච්චි
ඔහු බ්ලොග් ලියන්නෙකු නොවේ.
කාවින්ද හොයාගන්න ක්ලික් කරන්න.

Friday, November 6, 2009

අමුතු කතාවක්. 4 කොටස

අමරදේවයන් මේ මුමුණන කෙඳිරිලි සංගීතය මගේ හදවත පුළුස්සන්නේ ලෝදියෙන් උණුකළ ඊයම් වක් කරනවා මෙනි. ලෝකයාගෙන් අපහාස නින්දා විදී මගේ ජිවිතයට සිනාවෙන්නට එක්වරක් හෝ වරමක් ලබාදුන්නේ ඒ අතීත මතක සටහනයි. තමරි මල්ෂිකා නම් වූ ඇයව මට අහම්බෙන් මුණ ගැසුණේ නුවර ගුණසේන පොත් සැලෙනි.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ විගස ලයනල්ගෙන් ඉල්ලා ගත් කළු කලිසමෙනුත් බැජ් එක ගැලවූ පාසැල් සුදු කමිසයෙනුත් දෙහි කැබැල්ලෙන් පිහි දැමූ දුවිලි වැදුණු කාකි සපත්තු වලිනුත් සැරසී ගුණසේන පොත් සැලේ කවුන්ටරය ළඟට වී මගේ කුළුදුල් සම්මුඛ සාකච්ජාව සඳහා වාරය එනතුරු සිතේ තිබූ නොසන්සුන් බව නිසා ළඟ තිබූ එක්සයිස් පොත් රාක්කයක පොත් පිළිවෙලකට සකසමින් සිටියදී හදිසියේම අහම්බෙන් මගේ ඇඟේ පිටුපස හැප්පුණු ඇය ආපහු හැරී “සොරී සොරී” යැයි කියා අතේ තිබූ කොල කැබැල්ල පෙන්වමින් කරුණාසේනගේ “මව හා දුව” පොත තිබේදැයි මගෙන් ඇසු හැටි සිහිවීමෙන් දැනුදු මගේ මුවට සිනාවක් නැගෙයි. එවෙලේ මා කරමින් සිටි දෙය නිසා මා එහි සේවකයෙක් යැයි ඇය සිතන්නට ඇත. ඇයගේ අත්වැරද්ද නිවැරදි කරනවා වෙනුවට

“ඔව් මැඩම්, ඒත් ඒක මෙතන නෙමේ තියෙන්නේ.. මැඩම්ට ඕන නම් මං ගෙනැත් දෙන්නද?”

කියා කියැවුණේ ඇයගේ රූ අසිරිය නිසාද නැතහොත් හිතේ දෙගිඩියාව නිසාවෙන්දැයි මට මතක නැත. පුස්තකාලයේ එතරම් සුදුසු පොත් නොතිබුණු බැවින්, මා විභාගයට ඉගෙනුම ලබනා කාලය තුළ බොහෝ අවස්ථාවල් වලදී පොත් සැල්වල රාක්කයන් අස්සේ කෙටිකතා හෝ විෂය කරුණු හා විචාරයන් සම්බන්ධ පොත් හෝ සොයමින් කියවන්නට පුරුදු වී සිටි නිසා පොත් සැල් වල බොහෝ පොත් තිබෙන තැන් මට හොඳට මතක තිබුණි.

මට ඇයව පසුව හමු වුණේ පන්සලේ කඨින පින්කමට පාසැලෙන් දාන දෙන්නට නියමිතව ඊට සහභාගි වු අවස්ථාවේදීය. එතැන් සිට ගොඩ නැගුනු මිත්‍රත්වයත් එහි අතුරුඵලයක් ලෙස ඇතිවූ සම්බන්ධතාවයත් මා කිසි කලෙක අපේකෂා නොකළ දෙයකි. ඉතිහාසයේ සිදුවූ දේවල් නැවත වාතාවක් සිදුවන බව කොහේදෝ රැලියක මා අසා තිබුනෙමි. එහි අරුත මට නොවැටහුනත් එහි කියැවෙන්නාක්මෙන් මාගේ දෙමව්පියන්ගේ ඒ ඉතිහාසය මටත් සිදු වෙන්නට ගොසින් වැලැක්වුණේ අවසානයේ මට බිඳුණු හදවතකුත් වේදනාවකුත් සමඟින් උන්හිටි තැනුත් අහිමි කරවමිනි.

“ටක්...ටක්...”

“ටක්ටක්ටක් ටකක්...ටක්...”


මා නවාතැන් ගන්නා කාමරය පිහිටි ලෑලි පැල්පතේ හිමිකරු හතික් අසාර් දොරට තට්ටු කරමින්ද කුමක්දෝ කියමින්ද කරන කෝලහාලයෙන් අවුරුදු තුනක් එපිට සිට මම ප්‍රකෘතියට ආවේමි.

“මොකෝ!”

”මේ....පල ගොනෝ, පොලිසිය ගෙවල් චෙක් කොරනවා ආයිත් පලයල්ලා!!”


ඔහුගේ අනතුරු ඇඟවීම කණට වැකෙත්ම වැලේ වනා තිබුණු ඒකම සරමත් ඇදුම් ටිකත් බෑග් එකට දමාගෙන, දොර ඇරගෙන මාස් කුළිය ලෙස මා දුන් මුදලේ ඉතිරි මුදල ලෙස ඔහු අත තිබූ දෙසීයද රැගෙන ඉඟියක් කර පස්සා දොරින් පැනගෙන පොලිසිය හෝ කිසිවෙකු හෝ දකින්නට පෙර නාකපනා වැස්සේ දිව්වෙමි. මා වැඩ කරනා හෝටලයේම වේටරයෙකු ලෙසින් වැඩ කරනා ඔහුගේ නිවසෙන් ඈතට ඈතට දුව ගොසින් ගාළු පාරට අවතීර්ණ වුයෙමි. දවසක් දෙකක් යනතුරු එහි නැවත යාම අනතුරුදායකය. නමුත් මාගේ අතේ ඇත්තේ ඉතුරු දෙසීය පමණි. කොත්මලේ වෙසෙන මාගේ මාමාගේ නිවසට යාමට මුදලකුත් නැත. මේ රාත්‍රියේ හැදුනුම්පතකුත් ළඟ නැතිව එහි යාම තවත් අනතුරුදායකය.

"මන්ත්‍රිවරයෙකුගේ දියණියකට පෙම්කළ වැරද්දෙන් නොකළ වරදකට වන්දි ගෙවමින් ඉබාගාතේ යන ශරීරයක් හා මනසක් එක්ක ගාලුපාරේ පහන් කණුවක් යට හිඳ වට පිට බලන්නට වූයේ හිසට තාවකාලික වහලක් විය හැකි යමක් ඇතිදැයි සොයනු පිණිස ය. සවස වැඩ හැරී නිවෙස් බලායන යකඩ කරත්ත පෙළත්.., බැටරි බලයෙන් තප්පුලන හඬත් මට ඇති කලේ හිස රුදාවකි.

බීප් බීප්...!!!! ක්‍රාස්..!

මා සිටි පහන් කණුව පසු කර නැවැත්වූ රථයේ සිට බැස ආවේ කවුදැයි ඇස් කෙළින් වදිනා ලයිට් එළිය නිසා මඳ වේලාවක් යනතුරු හඳුණා ගැනීමට නොහැකි විය...!

" කෝ...? ගන්නවා බලන්න අයිඩෙන්ටිය..? "

අමුතු කතාවේ 4 කොටස ලිව්වේ
බිன்ku
http://binkulife.blogspot.com/