Wednesday, July 28, 2010

අමුතුකතාවක් 16 කොටස

“වරෙන් යන්න,” ඒ ලයනල් ගෙ ගෝරනාඩුව...

“කොහෙ යන්නද බං ?”

“ඒ ඔක්කොම උඹට කිය කිය මෙතන ඉන්න බෑ.. වරෙන් යන්න..අර යකාගෙ මිනිස්සු උඹ පස්සෙ පන්නනව.. උන් මෙතෙන්ට කඩා වැදෙන්න ඉස්සෙල්ල යමං,”

ඇමතුම විසන්ධි වෙලා තිබුණෙ නැති නිසා තමරිත් ඒ ඔක්කොම අහගෙන හිටියෙ...
මෙහොතකට කලින් මුණ ගැහෙන්න ඕනෙ වෙලා තිබුන උවමනාව තමරිට අමතක වුණෙ ඒක ඇහුන ගමන්...

තමරිගෙ ඉල්ලීම වුණෙත් අනුරාධට ලයනල් එක්ක යන්න කියල...
අන්තිමට ඇඳුම් කෑලි දෙකතුනත් අරගෙන අනුරාධට ලයනල් එක්ක යන්න සිද්ද වුණා...
ලයනල් ආව පරණ මෝට සයිකලේ පහල තාප්පෙකට හේත්තු කරල තිබුණ... ඒකෙ පිහිටෙන් දෙන්න එතනින් ගැලවිලා ගිය නිසා එදාටත් අනුරාධ බේරුණා...
අනුරාධ ලයනල් එක්ක ගිහින් පැයක්වත් ගියේ නෑ මංත්‍රීතුමාගෙ මැරයො එතෙන්ට කඩා වදින්න... ඉස්සරින්ද රෑ සෝමෙ අය්යගෙ නෑදෑයො හොයන්න අනුරාධ අවුස්සල දාපු ට්‍රන්ක පෙට්ටිය, එලියෙ දාල තිබුණ පොඩි පොත අනුරාධ මේ රහස් දැනගත්ත බවට දෙස් දුන්න…
හොඳට හරි නරකට හරි කතා කර කර හිටපු දුරකථනය අනුරාධ කලබලෙන්ම ඇඳුම් කෑලි ටික තිබුණ මල්ලට දාගෙන ගිහින් තිබුණ නිසා තමරියි අනුරාධයි ආපහු හම්බුන බවයි කතා කරපු බවයි නම් රහසක් විදියට ඉතිරි වුණා...

සෝමෙ අය්යට මොනව වුණාද, ලයනල් මේ දේවල් දැනගත්තෙ කොහොමද වගෙ දහසක් ප්‍රශ්න හිත ඇතුලෙ පොර කෑවත් ඒ එකක්වත් අහන්න හොයන්න වෙලාව නෙවෙයි මේ... තැනින් තැනින් හැරි හැරි අතුරුපාරවල් දිගේ ගිය සයිකලෙ නැවතුනෙ පොඩි කාමර කෑල්ලක් ඉස්සරහ...
ලයනල් ළඟ ගත කරපු කීප දවසෙදි කොච්චර ඇහුවත් මේ දේවල් එකකවත් සුල මුල හොයාගන්න බැරි වුණා,

“තමරි ගැන හොයන්න බලන්න යන්නෙ නැතිව උඹ උඹෙ පාඩුවෙ හිටපන්.. උඹ ඕනෙ නැති හැම රෙද්දට ම යන නිසා තමයි මේ කරදර ඔක්කොම… උඹ බූරුවෙක්ද උඹට ඒ ගෑණි  එක්ක පෑහෙන්න බෑ කියල නොතේරෙන්න...”

අහන්න හදන හැම වෙලාවෙම ලයනල් කිව්වෙ ඕක...

රස්සාව එතනින් ම ඉවරයි, ආපහු සයිවර් කඩේකවත් මොකක් හරි හොයාගන්න මහ පාරට වැ‍ටුනෙ වෙන කරන්න දෙයක් නැති නිසා, පුංචි කඩ කෑල්ලක කැශියර් වෙන්න හම්බුනා අන්තිමට… ලයනල් ට බරක් වෙන්නත් බැරිව හිටිය මම එතන නැවතිල ආපහු තනියම ඉන්න පටන් ගත්තත් අර ප්‍රශ්න ටික, සෝමෙ අය්ය මගෙ හිතෙන් අහකට ගියෙ නෑ…

වෙලාවකට තමරිට කෝල් කරන්න හිතෙනව... තව වෙලාවකට ඉස්පිරිතාලෙට යන්න හිතෙනව... ඉස්පිරිතාලෙට නම් ගියත් වැඩක් වෙන එකක් නෑ... සනීප වුණා නම් සෝමෙ අය්ය මංත්‍රීතුමා ගෙ මිනිස්සු ගෙනිහිල්ල ඇති…ඒත් සෝමෙ අය්යට සනීප වෙන්න ඇති ද...
සෝමෙ අය්ය ගැන හිත වද දෙන හින්දම තමයි දවසක් හැන්දෑවෙ ලයනල්ටවත් නොකිය ඉස්පිරිතාලෙට යන්න හිතුනෙ...

මගක් යනකොට හිතුණ එදා තමරි දුන්න නොම්මරේට කෝල් කරන්න...ඒක කොතනකවත් ලියා නොගත්තට අමතක වෙලා තිබුණෙ නෑ... සමහර විට තමරි මොනව හරි දන්නව ඇති... අතේ තිබුන දෙකේ කාසි කීපෙ දාල කෝල් එක ගත්ත,

සෝමෙ අය්ය ඉස්පිරිතාලෙන් අරගෙන ගිහින් තිබුණ, අසිහියෙන් කියවන සෝමෙ අය්යගෙ කටින් මංත්‍රීතුමා ගැන මොකුත් කියවෙයි කියල බයට වෙන්න ඇති... ඒ හින්ද ඉස්පිරිතාලෙට ගිහින් වැඩක් නෑ... සෝමෙ අය්ය කොහෙද ඉන්න මොකක්ද කරන්නෙ කියල දැනගන්න වෙන විදියකුත් නෑ...

තමරි ට ඕනෙ වෙලා තිබුණෙ මාව මුණ ගැහෙන්න...
තමරි එනකන් මම බස් නැවතුම ළඟ පාර අයිනෙ ඔහේ  බලාහිටිය...බලා ඉන්න අතරෙදි තමා මගේ සුලමුල හොයාගන්න මග පෑදුන ඒ අමුතුම සිද්දිය සිද්ද වුණේ...

මැදිවයස ඉක්මවල ගිය ගෑණු කෙනෙක් මගේ දිහා බලන් හිටිය.. හරිම විපරම් ඇහැකින්...  "අනුරාධ නෙදියවන්" මගෙ නම කොතන ගියත් ප්‍රශ්න ඇති කරන නිසාම මම මේ වගෙ දේවල්වලට කැමති නෑ... මේ ගෑණි මොකටද මගෙ දිහා බලන්නෙ... නිකන් කන්න වගේ... එතනින් මාරු වෙලා තව ටිකකින් ඇවිත් බලන්නම් කියල හිතාගෙන මම ටිකක් එහාට යන්න හදනකොට ම තමා ඒ මනුස්සය කතා කළේ...

"බස් එක පරක්කුයි වගේ නේද ළමයො, " කතාව පටන්ගන්න වෙන්න ඇති එහෙම ඇහුවෙ...

"හ්ම්ම්" මම උත්තර දුන්නෙ නොසැලකිල්ලෙන්...

"මට මේ ඔය ළමයව දැක පුරුද්දක් දැනුණ නිසා මම මේ බලාන උන්නෙ... ඔය ළමය කොහෙද හැබෑටම..."


අමුතු කතාවේ 16 කොටස ලිව්වේ
චේජනා
http://chejanas.blogspot.com

Tuesday, July 20, 2010

අමුතු කතාවක් 15 කොටස

ඇස් පියාගත්තට අනුරාධගෙ රූපය මවාගන්න තමරිට එච්චර ලේසි උනේ නෑ.මීට සය අවුරුද්දකට කලින් තමන්ගෙ හීතල හිත පණ ගහන්න තරම් උණුසුම් තුරුලක් ලබා දුන්න අනූ තමන්ගෙ ජීවිතයෙන් ඈත්වෙන්න ගියෙ කොච්චර පොඩි කාලයක්ද?වරදකාරී හැඟීමක් හදවත තුවාල කරද්දි තමරි වේදනාව දරාගෙන තවත් තදින් දෑස පියාගත්තා.

ඒත් ඇයට මැවිල පෙනුනෙ පළවෙනි දවසෙ අනුරාධගෙ සිනාමුසු ගත විතරයි.තමන්ගෙන් ඈත්වෙලා හිටපු කාලය පුරාවටමත් අනුරාධ කියන නම සිහියට ආව විගස මනසෙ ඇඳුනෙ ඒ රූපෙමයි.පළමු බැල්මෙන්ම ඒ රූපෙ තමාගෙ හිතේ පැළපදියම් උනේ තමාටම නොදැනි වෙන්ටැති.

ඒත් ඒ රූපෙ අයිති උනේ අතීතෙට.පෙරදින නොපැතූ ලෙස තමා ඇමතූ අනුරාධ සහ පැරණි අනුරාධ අතර තිබ්බෙ පැහැදිලි වෙනසක්.ඒ කටහඬ නොතිබුණා නම් මේ මගේ අනූ යැයි තමා විශ්වාස නොකරනවා නොඅනුමානයි.මිනිහෙක්ට අවුරුද්දකින් වෙනස් වෙන්න පුලුවනිද?තමරි ඒ රුව ආවර්ජනය කලා.අනුරාධගේ මූණේ තිබ්බෙ දහසක් වධ වේඳනා විඳිලා,කැඩිලා බිඳිලා ගිය මිනිසෙකුගෙ පෙනීමක්.සති කිහිපයකින් නොබාපු රැවුල,නොසලකා හැරිය ඇඳුම.... තමරිගෙ මුවින් පිටවුනේ හද පත්ලෙන්ම නැගුන හුස්මක්.

අනුරාධ කෑලි වලට බිඳිල ගිහින් තියෙන්නෙ තමා නිසාද?වගකීම සහමුලින් බාරගන්න තරම් බර වැඩියි.තමරි කොටස් කාරයින්ව හෙව්වා.අනුරාධට තමන්ගෙ පාපකාරී උප්පත්තියෙ මූලාරම්භය සොයාගන්න පුලුවන් උනාදැයි ඇය කල්පනා කලා.විමුක්තිය හොයන් යෑමේදිත් මූලය අතෑර දා යුතු මුත් අනුරාධ හිටියෙ එකම අරමුණකින්.තම ලෙයෙහි බැඳීමත්,තම සැබෑ පියා සහ තම සිරුරේ දිවෙන ලේ වලට බැඳීමක් දක්වන කිසිවෙක් හෝ සොයාගැනීම අනුරාධගේ ආශාව වී තිබුණා.

“ඇයි අනුරාධ ඒ?”

තමරි හැමෝටම නොදැනි හොරාගත්ත පැය කීපයකදි අනූගෙ සෙවනෙ උන්න විටක තමන් නගපු පැනය මතක් කලා.
"මට ජීවිතය පටන්ගන්න හයිය මුලක් ඕනෙ.මට කියන්න පුලුවන් ඕනෙ කෙනෙක්ට මම රදා වඩුගෙදර රංජිත්ගෙ පුතා කියලා.ඒත් ඉන් එහාට මට දෙන්න උත්තර නෑ.”

අනුරාධගෙ දෑස කොහේදෝ දියවෙලා ගිහින් තිබුණා.

'මට කමක් නෑ ඔයා කවුරු උනත්'තමරි කිව්වෙ ඇත්තටම.

"ඒත් මට ඕනෙ තමී.මටයි ඕනෙ.”

"හ්ම්....”

තමරි නිහඬ උනා.මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ යකඩයා කතාවෙ යකඩයගෙ බිරිය වගේ කැත්තට පොල්ල වගේ ඉන්න ස්වර්ණා මැණික් බණ්ඩාර-අනුරාධගෙ මවට පුලුවන් උනා නම් අනූගෙ ජීවිතයත් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.

“අම්මා හරිම නිවුණ ගැහැණියක්. එදා ඉඳන් එහෙමයි. සමහරවිට අහක හිටපු සෙල්වරාජාගේ ජීවිතයත් තමන් අගාධයට දැම්මා, තව ජීවිතයක් කාලකණ්ණි කළා කියන පසුතැවීම අම්මගෙ හෘද සාක්ෂියට වධ දෙන්න ඇති. තමන්ගෙ ජීවිතය ගැන මොකුත් චෝදනා නැගුවෙ නෑ අම්මා.”

අනුරාධගෙ කටහඬේ පිරිල තිබ්බෙ උතුරල යන ආදරයක් සහ අනුකම්පාවක්.

තමරිගෙ තදින් පියවුණු ඇසිපිය අතරින් කඳුලු ධාරාවක් රූටල ඇවිත් කොපුල් තෙත් කලා.

තමරි දැනන් හිටියෙ නෑ තමන්ට ආයෙමත් හිමි වුන අනුරාධ මේ වෙද්දිත් තප්පරෙන් තප්පරය ආයෙමත් මරණයට ලං වෙන බව. මන්ත්‍රී විජේතුංගගේ ගෝලයන් සිසිල්ව බැලීමට රෝහලට ගිහින් තිබුණා. රෝගියාගේ භාරකරු අනුරාධ නදියවන් බව ඔවුන් දැනගත්තේ වෛද්‍යවරයාගේ කටින් අහම්බෙන් පිටවූ වැකියකින්. ඒත් ලෙඩාගේ ලියකියවිලි අතරින් අනුරාධගේ නවාතැන සොයාගන්න උන්ට ගියෙ සුලු වෙලාවක්. මේ වෙද්දිත් දඩ බල්ලන් උන්ගේ ගොදුර පසුපස හැල්මේ දිවයමින් සිටියා.

ඒත්....මොහොතකින් ජීවිතයක් ලබාදෙන්නත්…, සුණුවිසුණු කරන්නත් පුලුවනි.

සිසිල්ගේ දුරකතනය නැවතත් නාද උනේ අනුරාධගේ හදගැස්ම වැඩිකරමින්.

"අනූ.....”

තමාරාගේ කටහඬ මැඩගත් ඉකියක් සමග නැගුණා.

"ඇයි තමී?”

අනුරාධට ඇගේ වේදනාව වැටහුණා.

"මට ඔයාව හම්බවෙන්න ඕනෙ.අනේ ප්ලීස් අනූ.මට සමාවෙන්න”

තමාරා වෙනස් වෙලා නෑ. වරද කාගේ උනත් සමාව ඉල්ලන්නේ ඇයයි.

"ඔයා සමාව ඉල්ලන්න ඔයා කරපු වැරැද්දක් නෑ තමී.හරි මම හෙට එන්නම්.”
'අනේ ප්ලීස් අනූ.මට දැන්ම ඔයාව දකින්න ඕනෙ.'

අනුරාධ නලළ රැළි කලා.තමී කවදත් හදිසි හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න කෙනෙක්.ඒත් මේ පාන්දර එළියට බහින්න අනුරාධට හිතක් තිබ්බෙ නෑ.ඔහු තප්පරයක් කල්පනා කලා.ඒත් පිළිතුරු දෙන්න කළින් කාමරේ දොරට කවුදෝ තට්ටු කරන හඬින් අනුරාධ කැළඹුණා.

"අනුරාධ..අනුරාධ ඉන්නවද?”

ආගන්තුක කටහඬක් ගෝරනාඩු කලා.ඒ හඬ අනුරාධගේ මතකයේ ඈත කෙළවරක් කිති කැව්වා.දුම් ගඳ,පොඩි උන්ගෙ කෑ ගැසීම්,කාණු,රෙදි වැල්,කසිප්පු,බඩගින්න,අම්මගෙ ආදරය,කඩ කෑල්ල.....ඒ මතක එක්ක එකතු උන තවත් මතකයක්...

"ලයනල්??”

අමුතු කතාවේ 15 කොටස ලිව්වේ
Poppy
http://somethingfromeverything.blogspot.com