Wednesday, January 19, 2011

අමුතුකතාවක් 20 කොටස

කළු පැහැති ජීප් රියක් අනුරාධ ඉදිරියේම නතර කළේය...

එකවිටම රියෙන් බැසගත් හැඩි දැඩි මිනිසුන් කිහිප දෙනෙකු විසින් අනුරාධව වටකර ගන්නා ලදී.

"උඹව තමා අපි හොය හොයා හිටියේ.. වරෙන් යන්න වල් බල්ලා.."

ඇසිපිය ගසන නිමේෂයෙන් අනුරාධව කුදලා වාහනයට දාගත් පිරිස පවනට බඳු වේගයකින් අවන්හල අසලින් ඈත් විය..
කිසිවක් සිතාගත නොහැකිව නිරුත්තර වු අනුරාධ මද වේලාවකට පසුව හිමින් සිය හඩ අවදි කරවීය.

"කවුද උඹලා මොකක්ද මේකේ තේරුම?"

"නවත්තපන් උඹේ චුරු චුරුව.අජියා ගනින් ඕක මෙන්න මෙහෙට..මේකාගේ කට වැඩී.."

එක්වරම සැර ගන්ධයක් නාසයට දැනී අනුරාධ මුහුණ පසෙකට හරවත්ම දැඩි හස්තයකින් මුවට ලං කල 
ලේන්සුවෙන් මුලු ලොවම තමා වටා කැරකෙන්නාක් මෙන් අනුරාධට දැනුනි.

සිය පියාගේ වාහනය මිදුලේ නවතා තිබුනද කිසිදු කලබලයක් නොපෙන්වා නිවසට පැමිණි තමරී නිහඩවම තම කාමර‍ය 
දෙසට පිය නගන්නට විය.

තමරී..! ඔහොම ඉන්නවා... කොහේද මියා වගේ යන්නේ..?
සාලයේ අසුනකට බරවී සිටි විජේතුංග මංත්‍රීතුමාගේ හඩින් තමාරා ගැස්සි ගියේය.

"ආහ්.. අප්පච්චි මම දැක්කේ නෑ අප්පච්චි ඉන්නවා.."

"මට පේනවා උඹටත් මොලේ අමාරුවක් හැදීගෙන එන බව.. මෙහෙ එනවා.. ඔතනින් වාඩි වෙනවා."

"අ.. අප්පච්චි.. ?

"මොකද තාම අයන්න කියන්න ඉගෙන ගන්නවාද? මට ඇත්ත කියපන් අනුරාධව හම්බවෙලා නේද උබ දැන් ගෙදර ආවේ..?"

"නෑ .. නෑ අප්පච්චි.. මම මේ යාලුවෙක් හම්බවෙන්න කියලා ගියේ.."

මේ අහපන්, උඹේ යාළුවා කවුද කියලා මං දන්නවා..ඒවගේම උඹට ආයේ ඌව දකින්න ලැබෙන්නෙත් නෑ කියලා මතක තියාගනින්...

අනේ දෙවියනේ... මගේ අනුරාධ.., තමරී සිතින් වැලපෙන්නට විය.අද මම එයාව හම්බවෙන්න නොගියානම් එයාව අප්පච්චිට අහු වෙන්නේ නෑනේ..වරදකාරී හැගීමකින් යුතුව ඇය සිතීය.

මේ අතර ගමනාන්තය කරා ලඟාවූ මැර පිරිස  කළු ජීප් රථයෙන් සිහිසුන් අනුරාධව තම රහස් තිප්පොල වෙත ඔසවාගෙන යන ලදී.

ක්‍රීං.... ක්‍රීං...

හලෝ..

සර් මම මේ අජියා කථා කරන්නේ.. වැඩේ තිතටම කලා සර්,දැන් මිනිහා අපේ පොට් එකේ ඉන්නවා..තව මොනවා හරි කරන්න දෙයක් තියෙනවාද?

හ්ම්ම්... නෑ නෑ. මම එන්නම්, ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා.

අදින් පස්සේ උඹ මගෙන නාහා එළියට බැස්සොත් එහෙම බලාගෙනයි... මංත්‍රීතුමා සිය කුරිරු දෑස් වෙතින් දියනිය දෙස බැල්මක් හෙලමින් පවසා වහා  තම රථයට නැගී අජියාගේ තිප්පොල කරා පිටත් වෙන්නට විය.

ම්ම්.. ම්ම්ම්.. මම මේ කොහේද ඉන්නේ..?
හිසේ බරගතියකින් යුතුව අවදී වූ අනුරාධ සෙමෙන් සෙමෙන් තම දෑස් විවර කරමින් සිතන්නට විය.




අමුතු කතාවේ 20කොටස ලිව්වේ

Tuesday, January 18, 2011

අමුතුකතාවක් 19 කොටස

කාල බෝම්බය තාම පිපිරිලා ගිහින් තිබුණෙ නෑ...ඒ වෙනුවට බස් නැවතුමේ හමුවූ ගැහැණියගෙ ලිපිනය රැගත් කොළකෑල්ල සුරක්ෂිතද කියල බලන්න මම මගේ සාක්කුව අතගානව..

"රංජි මල්ලී වගේමයි................"

ඒ වචන කිහිපය යළි යළිත් මා මනස තුල දෝංකාර දෙමින් තිබුනු අතර මට නැවතත් සිහි වුනේ අම්මා හීන් හඬින් මිමිණු ඒ කථාවයි..

"අපි ඇතුලට ගිහින් කථා කරමු අනූ.."

කිමිදී සිටි කලපනා සාගරයෙන් මා මුදවා ගත්  තමරී දෙස මා නෝක්කාඩු බැල්මක් හෙළුවත් පසුව මට එසේ සිතීම පිළිඹඳව කලකිරීමක් ඇති විය.. තම පියා විසින් මා සොයන්නට ඔහුගේ දඩ බල්ලන් යොදවා තිබුනත් කිසි බියන් සැකක් නැතිව මා හමුවන්නට පැමිණිමට තරමි ඈය නිරිභීත වූවාය.. 

"ඔයාට තරහා ගියා ද.. අපේ අප්පචචිගේ හෙන්චයියෝ පිස්සු බල්ලෙක් හොයනවා වගේ ඔයාව හොයනවා අනූ.. මට බෑ ඔයාව ආයෙත් නැති කරගන්න.. යමු යමු ඇතුලට.."

සාක්කුවේ දෑත් රුවාගත් වනම සිටි මා සුරතින් ඇදගෙන,  තමරී ඒ අසල තිබූ අවන් හලවෙත පියනැගුවාය..

 "අපි දෙන්නට කෝපි දෙකක් ගේන්න..." 

යැයි උස් හඬින් පැවසූ ඈ, මා දෑස් දිහා බලායෙන කල්පනා කරන්නට වූවාය.. මා නෙත් යුග ඈගේ දෙනෙත් වල ග්‍රහණයට ලක් වූ විට මසිත ඈදී ගියේ පෙර දිනෙක ඇය හා මා පළමු වරට මුණගැසුනු ගුණසේන පොත් සාප්පුව වෙතටයි..

 "මෙන්න මිස් කෝපි දෙක.." 

වේටර් කොල්ලා ගේ ඒ හඬට අප දෙදෙනාම තිගැස්සී පියවි ලොවට පිවිසින..

 "එදා ඔයාව දකිනකන් මම පිස්සුවෙන් වගේ හැම තැනම ඔයා හෙවුවා අනූ.." 

 සිහින් ඉකි බිඳුමක් සමග  තමරී පවසද්දී මගේ කාලකන්ණි අතීතය මට සිහි විය.. ඒ අතීතය ඇය ඉදිරියේ ​දිගහැර ඇය අපහසුතාවයට ලක් කිරීමට අකමැති වූ නිසා ඒ අතීතය මා තුලම ගිල ගැනීමට මා අදිටන් කරගතිමි..

 තමී....., මට  ඔයාට කියන්න වැදගත් කාරණාවක් තියෙනවා..

කියන්න අනූ මොකක්ද ප්‍රශ්නේ.. මමත් දැක්කා ඔයා කල්පනා කර කර ඉන්නවා..

 මා, සාක්කුවට අත දා එහි වූ කුඩා කොළ කැබැල්ල එළියට ගෙන තමීරා වෙත දික් කළේය..

ආර්.ඩබ්ලිවු. සෝමලතා
අංක 132/2,
සිරිපාගම,
ශ්‍රී පලාබද්දල,
රත්නපුර,

"අනූ... මොකක්ද මේ එඩ්‍රස් එක.."

තමරී එනතුරු බස්නැවතුම් පොළ රැඳී සිටි මොහොතේ සිදු වූ සිද්ධිය කියූ පසු තමීරාට ද ඒ පිළිඹඳව උනන්දුවක් ඈති වන බව ඇයගේ ඇස් දුටු මට පසක් වීය..

ක්‍රීං.... ක්‍රීං...!

තමරී තම හෑන්ඩ් බෑගයෙන් දුරකථනය ඇදල අරගෙන ඇයගේ දබරගිල්ල මුව මත තබා මට නිහඬ වන ලෙස සන් කර ඈමතුම සන්ධි කළාය.. 

"හෙලෝ අප්පච්චී.." 

"ඔ.. ඔ.. ඔවු අප්පච්චී..."

"හා..., හො.. හො.. හොඳයි අප්පච්චී.."

සැනෙන් තම දුරකථනය බෑගයට රුවා ගත් තමීරාගේ මුවින්, මා දුටුවේ කලබලයට පත් වූ ස්වරූපයකි..

"ඇයි තමී මොක ද...?" 

"අප්පච්චී කථා කලා අනූ... තව විනාඩි 20 කින් මාව හමුවෙන්න මගේ එපාර්ට්මන්ට් එකට එනවා කිවුවා..මම දැන් යන්න ඕනි අනූ.."

"හොඳයි තමී.. පරිස්සමෙන් යන්න.. මම තව ටිකක ඉඳලා එන්නම්.." 

"එහෙනම් මම යනවා අනූ.. ඔයා පරිස්සමෙන් ඉන්න.. අපේ අප්පච්චිගේ දඩ බල්ලෝ හැමතැනම ඉන්නවා.."

"හොඳයි තමී, බුදු සරණයි....!!"

"බුදු සරණයි අනූ...!!"

තමරී සමඟ ඇයගේ වා​හනය ළඟටම පැමිණ ඇයට සමු දී ඇය යන තෙක් එතන රැඳී සිටි මා නැවතත් අවන්හල වෙත නැවතත් යෑමට හැරුනා පමණි..

"ක්රාස්......"

කළු පැහැති ජීප් රියක් අනුරාධ ඉදිරියේම නතර කළේය...

අමුතු කතාවේ 19කොටස ලිව්වේ

Sunday, December 12, 2010

අමුතුකතාවක් 18 කොටස

තමරිගේ ඇස් දිගු ව්‍යායාමයක...
ඉදිරිය දෙස, මා දෙස, නැවත ඉදිරිය දෙසටද ඉන්පසු පැති කණ්ණාඩි දෙසටද ඇගේ ඇස් දිවයයි...

අපි කොහේ හරි නිදහස් තැනකට වෙලා කතා කරමු.”
ඈ මොහොතකට පෙර එහෙම කීවාය.

ඒ නිසා අපි උන්නේ නිදහස් තැනක් සොයන ගමන්..කතාබහක නිරත වෙන්න නිදහස් තැනක්.. මටත් නිදහසක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් පැවතුණ වෙලාවක් ඒක. එක ජීවිතයකටත් වඩා බර රැගෙන මා පසුපසම හඹාගෙන එන යම්කිසි අශුභදායී දෙයකට තිබුණ එකම පිළිතුර ඒකයි. නිදහස කියන ලස්සන වචනය...

තමරි පැති කණ්ණාඩියෙන් සැරින් සැරේට විමසන ආපස්සට මම අතීතය යැයි සිතින් නම් තැබුවේ මීට මොහොතකට කලිනුයි.. ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ඇදී ඇවිත් අප දිහාවට දිවෙන වාහන අපේ ඇස් මායිම් පසු කරමින් ඔහේ නොපෙනී යද්දි මම ඒවාට හැඟීම් විරහිතවම සමු දෙමින් හිටිය. ‍

එතන තිබ්බෙ මම දැන් අත් විඳින මගේ අතීතය සමග ඕනෑම මොහොතක හුවමාරු කර ගැනීමට‍ මම කැමති වෙනස් අතීතයක්. මම ඒ අතීතය දිහාවට, එනම් තාරපාරේ පසුකර ආ දිසාවට ආයෙත් හැරිල බැලුව.. පසුපසට ඇදී යමින්, නොපෙනීයමින් තිබුණු පාලු බස් නැවතුමක් මගේ නෙත ගැටුනෙ එතකොටම වගේ. ඒත් එක්කම මොහොතකට කලින් බස් නැවතුමේ සිදුවූ හමුවීමෙන් නැවත කඩා පිහිටවනු ලැබූ ම‍ගේ අතීතය රැගත් අවකාශයත්, මේ මොහොතේ මගේ වියයුතුයැයි මම ප්‍රාර්ථනා කරන අතීත අවකාශය ඇතුළ පිහිටපු මේ දැන් පසු කරන ලද බස් නැවතුමත් ගැටෙන්නට පටන් ගෙන ඇති වගක් මට වැටහුනා.

හැඟීම් විරහිතව සමුදිය නොහැකි බස් නැවතුමේ හමුව දිහාවට මම සීඝ්‍රයෙන් ඇදීයන එක වලක්වන්නට තමරිගේ ඇස් වලටත් බැරි සෙයකි...

බස් නැවතුම් පලේ ගැහැණිය නොනවත්වාම ම‍ගේ මුහුණ හැඩරුව පිරික්සද්දි මගේ මනසේ ගැඹුරක නන්නාඳුනන අනතුරුදායක සේයාවක් සැරිසරනව මට දැනෙන්න‍ට පටන්ගෙන තිබ්බා. මම ඒ විස්තර කළ නොහැකි භීතිය අමතකබවේ සහ නිර්වින්දනයේ ඇතුලාන්තයකටම තල්ලුකොට සැහැල්ලුවක් ආරූඪ කරගැනීමට වෙහෙසෙමින්....

එකම මූණුවර තියන අය කොයි තරම් ඉන්නවද අම්මෙ.

නැහැ ළමයො. මේ ළමය නම් ඇරපු අතක් නෑ............

මහ හඬින් නලා හඩවමින් ආපු බස් රියක් ඇගේ අවසන් වදන් කිහිපය යට කරගෙන ගියා...

එතකොටම නලා හඬ දෙමින් මා අභ්‍යන්තරයේ ඉඳන් නැගී හිටගෙන මගේ හාත්පස වැතිරෙන්නට උත්සාහ දරන්න ගත්තෙ මගේම අතීතයයි. මොහොතකට පෙර අනතුරුදායක සංඥාව දැල්වුණේ ඒ දිහාවෙන් විය යුතුයයිද, මේ මොහොතේ ප්‍රශ්නයකට ඇත්තේ ඒ නොදන්නා දෙය සමග ගැටීම සහ පළායාම අතරේ දෝලනය පමණක්ම බවද මට තේරුම් යන විටදීම ගැහැණිය මොහොතකට පෙර නලා හඬින් වැසී ගිය සිය වදන් පෙළ ආපහු මා දෙසට මුදා හැරියා.

රංජි මල්ලි වගේමයි..

රංජි මල්ලි?”

ඔව්
ඈ සිනහවක් රඳවා ගනිමින් පැවසුවාය. එය අතීත මතක වැළක් ඔස්සේ මං සොයාගෙන සපැමිණි සිනහවක්.

රංජි...රංජිත්....රදා වඩුගෙදර රංජිත්...
මම සිතින් මුමුණගත්තා.

මගේ අතීත මතක වැල් දිගේ ඇදී එන්නට තතනන්නේ සිනහවක් නොව... කාල බෝම්බයක්..



ටික් ටික් ටික් ටික්.......

තමරි වම් පැත්තට හැරවීමේ සංඥාව යොදල වාහනේ කුඩා අවන්හලක් දෙසට හරවනව.

මෙතැන හොදයි..මම දන්න තැනක්

මම වාහනෙන් බහිනව. බස් නැවතුමේ හමුවීමත් ඒ හරහා මගේ අතීතයට වැටෙන මාර්ග කරා දිවෙන තවම සිදුනොවූ හමුවීම් ගැනත් සිතන එක පසෙකලා මේ මොහොත වෙත හිත රඳවාගන්න උත්සාහ කරමින්.

කාල බෝම්බය තාම පිපිරිලා ගිහින් තිබුණෙ නෑ...ඒ වෙනුවට බස් නැවතුමේ හමුවූ ගැහැණියගෙ ලිපිනය රැගත් කොළකෑල්ල සුරක්ෂිතද කියල බලන්න මම මගේ සාක්කුව අතගානව.


අමුතු කතාවේ 18කොටස ලිව්වේ

Monday, August 9, 2010

අමුතුකතාවක් 17 කොටස

"මට මේ ඔය ළමයව දැක පුරුද්දක් දැනුණ නිසා මම මේ බලාන උන්නෙ... ඔය ළමය කොහෙද හැබෑටම..."

පුරුද්ද. සංසාරය පුරාවටම සියළු දුක්ඛ දෝමනස්සයන්ද සුඛ විහරණයන්ද කැටුව එන සබැඳියාවන් තනන්නේ මේ පුරුද්දය. දෙනෝදාහක් අතරින් තම දිවිය හා ගැටී පැටලී යන්නටවුන් සොයා දෙන්නේ මේ පුරුද්දය. අම්මාට සියළු සැප අතැර දමා මුඩුක්කුවක මැරෙන්නට වූයේද, අප්පාට එක් ජූලි මාසයක කුණුකානුවකදී දිවිය අතහරින්නට වූයේද, රදාවඩුගෙදර රංජිත්ට අවසන් වතාවට තම ඇස්මානයෙන් තඩි රෝද දෙකක් දකිමින් මියෙන්නට වූයේද, සංසාර පුරුද්දෙන් දැණුන උන් වෙනුවෙනි, උන් හේතුවෙනි. දේශයේ බලවත්ම මන්ත්‍රීවරයකුගේ දඩබල්ලන් නගරය පීරමින් මා සොයද්දී ස්නේහයෙන් ගැහෙන හදවතින් ඒ නගරයේම ඔහුගේ දියණිය එනතෙක් මඟ බලා සිටින්නේ පුරුද්දෙනි. සංසාරය පුරා බලා සිටි පුරුද්දෙනි.

නිහැඬියාව. සිතිවිලි කෑ ගසද්දී මුව නිහඬය. ඉඳින් කවුරුන් විසින් හෝ මේ නිහැඬියාව බිඳ දැමිය යුතුය.

“ඔය ළමය රත්නපුරේ පැත්තෙද?”

මම නැතැයි කීමට හිස සැලුවෙමි. එපණක් නොව මා ඇය නොදන්නා වගද පැවසීමට මට ඇවැසි විය. ඇය මට පුරුදුනැති බව කීමට මට ඇවැසි විය. මෙලොව ඇත්තේ මට පුරුදු මා දන්නා දෙදෙනෙකු පමණක් බවත් සිය දිවිය පවා නොතකමින් මේ බලා ඉන්නේ ඉන් එකෙකු දැකීමට බවත් ඇයට පැවසීමට මට ඇවැසි විය. නමුත් ඒ බැව් පැවසීමට තිබූ උවමනාව තරම්ම යමෙකු හා දොඩමළු වීමට තිබූ අකමැත්ත බලවත් වූ හෙයින් මම හිස පමණක් සැලීමි. අනතුරුව යලි මඟ වෙත නෙතු යෙමු කළෙමි.

ඉවසීම. බුදුන් පාරමිතාවක්ව පිරීමට උපදෙස් දුන් ඉවසීම. මගේ මව හා පියාට සිය යොවුන් මදයෙන් මත්ව ගිය මොහොතකදී නැතිව ගිය, ඒ වෙනුවෙන් අප්පාට මහමෙරක්ව දරන්නට සිදුවූ ඉවසීම. කලකට පසු ඊයේ දුටු රුව කොයි මොහොතේ හෝ සෙනඟ අතරින් නැගවිත් කලබලයෙන් මා හා දෑත් වෙලා ගන්නා තෙක් දරාගත නොහෙන තරමට නැතිව ගොස් ඇති ඉවසීම.

අපට පමණක් නොව ඇයටද ඉවසීම යනු පිරීමට අපහසු පාරමිතාවක්ම වූ සේය. සෙනඟ මඳක් අඩුවෙමින් තිබූ අවස්ථාවක් හෙයින් සිය අදහස් නිදහස් කිරීමට ඇයට අපහසුවක් නොවිණි.

“ මේ ඉලංදාරිය, මාත් මේ ගෙන්දගං පොළොවෙ නූපන්නට මේකෙ පයගහල දැන් අවුරුදු පාලොහක් වෙනව. මං කථා කලේ උඹේ ඉන ඉහ අතගාගන්න නෙවෙයි. මට උඹව හොඳට දැකල පුරුදුයි. ඒ නිසයි මනුස්සකමට කථා කලේ. කටේ පිට්ටු හිරවෙලාද වචනයක් එලියට දාන්නෙ නැත්තෙ?”

පිට්ටු. අම්මා පාන්පිටි ටිකක් වතුර හා අතගා අප්පාගේ පරණ බැනියමක් මුට්ටියක කරබැඳ තැනූ වණ්ඩුවක තම්බා සයියාගේ කඩයට දැමූ පිට්ටු. යහනක් තිබියදී රෑ එළිය වැටෙනතුරුත් ඈ තුරුල්කරගෙන ස්විස් හෝටලයේ බැල්කනියකට වී හිඳීමට තරම් හිතුවක්කාර වූ දිනක, මගේ අම්මා බැටකෑ ගිනිපෙනෙල්ලට බියෙන්, ඇයව කණාමැදිරියන්ගෙන් රැකගත් බරින් අප පීඩිතව හිඳියදී තමී හා මා පාතරාසයට බෙදාගත් පිට්ටු.

නැත. මගේ කටේ පිට්ටු නම් හිරවෙන්නේම නැත. නමුත් මේ නාඳුනන ගැහැණිය හා කුමක් කථා කරන්නද?

“ මං ඔය අම්මව මීට කලින් දැකල නැහැනෙ. අනික මං රත්නපුරේ නෙවෙයි”

“ ඒත් මට හොඳ මතකයක් තියෙනවනෙ දරුවො. නෑදෑයො එහෙම ඉන්නවද ඒ පැත්තෙ ?”

“නැහැ”

ඇය තවත් ලංව මා මුහුණ විමසුවාය. මගේ මුහුණතුල සැඟවගිය කුමක් හෝ දෙයක් ඇයට පිහිටවෙතැයි බලාපොරොත්තුවෙන් මෙන් මා දෙසම බලා සිටියාය.

අම්මා. මට අම්මා සිහිවිණි. ඇයද මෙබන්දක් පුරුදුව සිටියාය. දුර සිට සිනාසී මදෙස බලා හිඳිනා ඇය මහත් ස්නේහයෙන් මවෙත එන්නීය. අනතුරුව මා ලඟට ගෙන මුළු මුහුණම කියවන්නට මෙන් මදෙස බලා සිටින්නීය. සිය දෙනෙත් තුල මහා සතුටක්ද වේදනාවක්ද සමාන පරිමාවකින් දරාගෙන මදෙස බලා හිඳ එකවනම දැඩිව තුරුල්කොට ගන්නීය. අනතුරුව අතොරක් නැතිව මා සිඹින්නීය.

ඒ මතකය සිතේ අහුමුලු හාරමින් හිඳිද්දී ගැහැණිය මඳහසක් නැගුවාය. අනතුරුව,

“ඒ මූණුවරමයි.......”

වැහි නැති කොළඹ අහස ගුගුරවමින් මිමිණුවාය.

අමුතු කතාවේ 17කොටස ලිව්වේ
ඇට මැස්සා
http://skydreams2010.blogspot.com

Wednesday, July 28, 2010

අමුතුකතාවක් 16 කොටස

“වරෙන් යන්න,” ඒ ලයනල් ගෙ ගෝරනාඩුව...

“කොහෙ යන්නද බං ?”

“ඒ ඔක්කොම උඹට කිය කිය මෙතන ඉන්න බෑ.. වරෙන් යන්න..අර යකාගෙ මිනිස්සු උඹ පස්සෙ පන්නනව.. උන් මෙතෙන්ට කඩා වැදෙන්න ඉස්සෙල්ල යමං,”

ඇමතුම විසන්ධි වෙලා තිබුණෙ නැති නිසා තමරිත් ඒ ඔක්කොම අහගෙන හිටියෙ...
මෙහොතකට කලින් මුණ ගැහෙන්න ඕනෙ වෙලා තිබුන උවමනාව තමරිට අමතක වුණෙ ඒක ඇහුන ගමන්...

තමරිගෙ ඉල්ලීම වුණෙත් අනුරාධට ලයනල් එක්ක යන්න කියල...
අන්තිමට ඇඳුම් කෑලි දෙකතුනත් අරගෙන අනුරාධට ලයනල් එක්ක යන්න සිද්ද වුණා...
ලයනල් ආව පරණ මෝට සයිකලේ පහල තාප්පෙකට හේත්තු කරල තිබුණ... ඒකෙ පිහිටෙන් දෙන්න එතනින් ගැලවිලා ගිය නිසා එදාටත් අනුරාධ බේරුණා...
අනුරාධ ලයනල් එක්ක ගිහින් පැයක්වත් ගියේ නෑ මංත්‍රීතුමාගෙ මැරයො එතෙන්ට කඩා වදින්න... ඉස්සරින්ද රෑ සෝමෙ අය්යගෙ නෑදෑයො හොයන්න අනුරාධ අවුස්සල දාපු ට්‍රන්ක පෙට්ටිය, එලියෙ දාල තිබුණ පොඩි පොත අනුරාධ මේ රහස් දැනගත්ත බවට දෙස් දුන්න…
හොඳට හරි නරකට හරි කතා කර කර හිටපු දුරකථනය අනුරාධ කලබලෙන්ම ඇඳුම් කෑලි ටික තිබුණ මල්ලට දාගෙන ගිහින් තිබුණ නිසා තමරියි අනුරාධයි ආපහු හම්බුන බවයි කතා කරපු බවයි නම් රහසක් විදියට ඉතිරි වුණා...

සෝමෙ අය්යට මොනව වුණාද, ලයනල් මේ දේවල් දැනගත්තෙ කොහොමද වගෙ දහසක් ප්‍රශ්න හිත ඇතුලෙ පොර කෑවත් ඒ එකක්වත් අහන්න හොයන්න වෙලාව නෙවෙයි මේ... තැනින් තැනින් හැරි හැරි අතුරුපාරවල් දිගේ ගිය සයිකලෙ නැවතුනෙ පොඩි කාමර කෑල්ලක් ඉස්සරහ...
ලයනල් ළඟ ගත කරපු කීප දවසෙදි කොච්චර ඇහුවත් මේ දේවල් එකකවත් සුල මුල හොයාගන්න බැරි වුණා,

“තමරි ගැන හොයන්න බලන්න යන්නෙ නැතිව උඹ උඹෙ පාඩුවෙ හිටපන්.. උඹ ඕනෙ නැති හැම රෙද්දට ම යන නිසා තමයි මේ කරදර ඔක්කොම… උඹ බූරුවෙක්ද උඹට ඒ ගෑණි  එක්ක පෑහෙන්න බෑ කියල නොතේරෙන්න...”

අහන්න හදන හැම වෙලාවෙම ලයනල් කිව්වෙ ඕක...

රස්සාව එතනින් ම ඉවරයි, ආපහු සයිවර් කඩේකවත් මොකක් හරි හොයාගන්න මහ පාරට වැ‍ටුනෙ වෙන කරන්න දෙයක් නැති නිසා, පුංචි කඩ කෑල්ලක කැශියර් වෙන්න හම්බුනා අන්තිමට… ලයනල් ට බරක් වෙන්නත් බැරිව හිටිය මම එතන නැවතිල ආපහු තනියම ඉන්න පටන් ගත්තත් අර ප්‍රශ්න ටික, සෝමෙ අය්ය මගෙ හිතෙන් අහකට ගියෙ නෑ…

වෙලාවකට තමරිට කෝල් කරන්න හිතෙනව... තව වෙලාවකට ඉස්පිරිතාලෙට යන්න හිතෙනව... ඉස්පිරිතාලෙට නම් ගියත් වැඩක් වෙන එකක් නෑ... සනීප වුණා නම් සෝමෙ අය්ය මංත්‍රීතුමා ගෙ මිනිස්සු ගෙනිහිල්ල ඇති…ඒත් සෝමෙ අය්යට සනීප වෙන්න ඇති ද...
සෝමෙ අය්ය ගැන හිත වද දෙන හින්දම තමයි දවසක් හැන්දෑවෙ ලයනල්ටවත් නොකිය ඉස්පිරිතාලෙට යන්න හිතුනෙ...

මගක් යනකොට හිතුණ එදා තමරි දුන්න නොම්මරේට කෝල් කරන්න...ඒක කොතනකවත් ලියා නොගත්තට අමතක වෙලා තිබුණෙ නෑ... සමහර විට තමරි මොනව හරි දන්නව ඇති... අතේ තිබුන දෙකේ කාසි කීපෙ දාල කෝල් එක ගත්ත,

සෝමෙ අය්ය ඉස්පිරිතාලෙන් අරගෙන ගිහින් තිබුණ, අසිහියෙන් කියවන සෝමෙ අය්යගෙ කටින් මංත්‍රීතුමා ගැන මොකුත් කියවෙයි කියල බයට වෙන්න ඇති... ඒ හින්ද ඉස්පිරිතාලෙට ගිහින් වැඩක් නෑ... සෝමෙ අය්ය කොහෙද ඉන්න මොකක්ද කරන්නෙ කියල දැනගන්න වෙන විදියකුත් නෑ...

තමරි ට ඕනෙ වෙලා තිබුණෙ මාව මුණ ගැහෙන්න...
තමරි එනකන් මම බස් නැවතුම ළඟ පාර අයිනෙ ඔහේ  බලාහිටිය...බලා ඉන්න අතරෙදි තමා මගේ සුලමුල හොයාගන්න මග පෑදුන ඒ අමුතුම සිද්දිය සිද්ද වුණේ...

මැදිවයස ඉක්මවල ගිය ගෑණු කෙනෙක් මගේ දිහා බලන් හිටිය.. හරිම විපරම් ඇහැකින්...  "අනුරාධ නෙදියවන්" මගෙ නම කොතන ගියත් ප්‍රශ්න ඇති කරන නිසාම මම මේ වගෙ දේවල්වලට කැමති නෑ... මේ ගෑණි මොකටද මගෙ දිහා බලන්නෙ... නිකන් කන්න වගේ... එතනින් මාරු වෙලා තව ටිකකින් ඇවිත් බලන්නම් කියල හිතාගෙන මම ටිකක් එහාට යන්න හදනකොට ම තමා ඒ මනුස්සය කතා කළේ...

"බස් එක පරක්කුයි වගේ නේද ළමයො, " කතාව පටන්ගන්න වෙන්න ඇති එහෙම ඇහුවෙ...

"හ්ම්ම්" මම උත්තර දුන්නෙ නොසැලකිල්ලෙන්...

"මට මේ ඔය ළමයව දැක පුරුද්දක් දැනුණ නිසා මම මේ බලාන උන්නෙ... ඔය ළමය කොහෙද හැබෑටම..."


අමුතු කතාවේ 16 කොටස ලිව්වේ
චේජනා
http://chejanas.blogspot.com

Tuesday, July 20, 2010

අමුතු කතාවක් 15 කොටස

ඇස් පියාගත්තට අනුරාධගෙ රූපය මවාගන්න තමරිට එච්චර ලේසි උනේ නෑ.මීට සය අවුරුද්දකට කලින් තමන්ගෙ හීතල හිත පණ ගහන්න තරම් උණුසුම් තුරුලක් ලබා දුන්න අනූ තමන්ගෙ ජීවිතයෙන් ඈත්වෙන්න ගියෙ කොච්චර පොඩි කාලයක්ද?වරදකාරී හැඟීමක් හදවත තුවාල කරද්දි තමරි වේදනාව දරාගෙන තවත් තදින් දෑස පියාගත්තා.

ඒත් ඇයට මැවිල පෙනුනෙ පළවෙනි දවසෙ අනුරාධගෙ සිනාමුසු ගත විතරයි.තමන්ගෙන් ඈත්වෙලා හිටපු කාලය පුරාවටමත් අනුරාධ කියන නම සිහියට ආව විගස මනසෙ ඇඳුනෙ ඒ රූපෙමයි.පළමු බැල්මෙන්ම ඒ රූපෙ තමාගෙ හිතේ පැළපදියම් උනේ තමාටම නොදැනි වෙන්ටැති.

ඒත් ඒ රූපෙ අයිති උනේ අතීතෙට.පෙරදින නොපැතූ ලෙස තමා ඇමතූ අනුරාධ සහ පැරණි අනුරාධ අතර තිබ්බෙ පැහැදිලි වෙනසක්.ඒ කටහඬ නොතිබුණා නම් මේ මගේ අනූ යැයි තමා විශ්වාස නොකරනවා නොඅනුමානයි.මිනිහෙක්ට අවුරුද්දකින් වෙනස් වෙන්න පුලුවනිද?තමරි ඒ රුව ආවර්ජනය කලා.අනුරාධගේ මූණේ තිබ්බෙ දහසක් වධ වේඳනා විඳිලා,කැඩිලා බිඳිලා ගිය මිනිසෙකුගෙ පෙනීමක්.සති කිහිපයකින් නොබාපු රැවුල,නොසලකා හැරිය ඇඳුම.... තමරිගෙ මුවින් පිටවුනේ හද පත්ලෙන්ම නැගුන හුස්මක්.

අනුරාධ කෑලි වලට බිඳිල ගිහින් තියෙන්නෙ තමා නිසාද?වගකීම සහමුලින් බාරගන්න තරම් බර වැඩියි.තමරි කොටස් කාරයින්ව හෙව්වා.අනුරාධට තමන්ගෙ පාපකාරී උප්පත්තියෙ මූලාරම්භය සොයාගන්න පුලුවන් උනාදැයි ඇය කල්පනා කලා.විමුක්තිය හොයන් යෑමේදිත් මූලය අතෑර දා යුතු මුත් අනුරාධ හිටියෙ එකම අරමුණකින්.තම ලෙයෙහි බැඳීමත්,තම සැබෑ පියා සහ තම සිරුරේ දිවෙන ලේ වලට බැඳීමක් දක්වන කිසිවෙක් හෝ සොයාගැනීම අනුරාධගේ ආශාව වී තිබුණා.

“ඇයි අනුරාධ ඒ?”

තමරි හැමෝටම නොදැනි හොරාගත්ත පැය කීපයකදි අනූගෙ සෙවනෙ උන්න විටක තමන් නගපු පැනය මතක් කලා.
"මට ජීවිතය පටන්ගන්න හයිය මුලක් ඕනෙ.මට කියන්න පුලුවන් ඕනෙ කෙනෙක්ට මම රදා වඩුගෙදර රංජිත්ගෙ පුතා කියලා.ඒත් ඉන් එහාට මට දෙන්න උත්තර නෑ.”

අනුරාධගෙ දෑස කොහේදෝ දියවෙලා ගිහින් තිබුණා.

'මට කමක් නෑ ඔයා කවුරු උනත්'තමරි කිව්වෙ ඇත්තටම.

"ඒත් මට ඕනෙ තමී.මටයි ඕනෙ.”

"හ්ම්....”

තමරි නිහඬ උනා.මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ යකඩයා කතාවෙ යකඩයගෙ බිරිය වගේ කැත්තට පොල්ල වගේ ඉන්න ස්වර්ණා මැණික් බණ්ඩාර-අනුරාධගෙ මවට පුලුවන් උනා නම් අනූගෙ ජීවිතයත් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.

“අම්මා හරිම නිවුණ ගැහැණියක්. එදා ඉඳන් එහෙමයි. සමහරවිට අහක හිටපු සෙල්වරාජාගේ ජීවිතයත් තමන් අගාධයට දැම්මා, තව ජීවිතයක් කාලකණ්ණි කළා කියන පසුතැවීම අම්මගෙ හෘද සාක්ෂියට වධ දෙන්න ඇති. තමන්ගෙ ජීවිතය ගැන මොකුත් චෝදනා නැගුවෙ නෑ අම්මා.”

අනුරාධගෙ කටහඬේ පිරිල තිබ්බෙ උතුරල යන ආදරයක් සහ අනුකම්පාවක්.

තමරිගෙ තදින් පියවුණු ඇසිපිය අතරින් කඳුලු ධාරාවක් රූටල ඇවිත් කොපුල් තෙත් කලා.

තමරි දැනන් හිටියෙ නෑ තමන්ට ආයෙමත් හිමි වුන අනුරාධ මේ වෙද්දිත් තප්පරෙන් තප්පරය ආයෙමත් මරණයට ලං වෙන බව. මන්ත්‍රී විජේතුංගගේ ගෝලයන් සිසිල්ව බැලීමට රෝහලට ගිහින් තිබුණා. රෝගියාගේ භාරකරු අනුරාධ නදියවන් බව ඔවුන් දැනගත්තේ වෛද්‍යවරයාගේ කටින් අහම්බෙන් පිටවූ වැකියකින්. ඒත් ලෙඩාගේ ලියකියවිලි අතරින් අනුරාධගේ නවාතැන සොයාගන්න උන්ට ගියෙ සුලු වෙලාවක්. මේ වෙද්දිත් දඩ බල්ලන් උන්ගේ ගොදුර පසුපස හැල්මේ දිවයමින් සිටියා.

ඒත්....මොහොතකින් ජීවිතයක් ලබාදෙන්නත්…, සුණුවිසුණු කරන්නත් පුලුවනි.

සිසිල්ගේ දුරකතනය නැවතත් නාද උනේ අනුරාධගේ හදගැස්ම වැඩිකරමින්.

"අනූ.....”

තමාරාගේ කටහඬ මැඩගත් ඉකියක් සමග නැගුණා.

"ඇයි තමී?”

අනුරාධට ඇගේ වේදනාව වැටහුණා.

"මට ඔයාව හම්බවෙන්න ඕනෙ.අනේ ප්ලීස් අනූ.මට සමාවෙන්න”

තමාරා වෙනස් වෙලා නෑ. වරද කාගේ උනත් සමාව ඉල්ලන්නේ ඇයයි.

"ඔයා සමාව ඉල්ලන්න ඔයා කරපු වැරැද්දක් නෑ තමී.හරි මම හෙට එන්නම්.”
'අනේ ප්ලීස් අනූ.මට දැන්ම ඔයාව දකින්න ඕනෙ.'

අනුරාධ නලළ රැළි කලා.තමී කවදත් හදිසි හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න කෙනෙක්.ඒත් මේ පාන්දර එළියට බහින්න අනුරාධට හිතක් තිබ්බෙ නෑ.ඔහු තප්පරයක් කල්පනා කලා.ඒත් පිළිතුරු දෙන්න කළින් කාමරේ දොරට කවුදෝ තට්ටු කරන හඬින් අනුරාධ කැළඹුණා.

"අනුරාධ..අනුරාධ ඉන්නවද?”

ආගන්තුක කටහඬක් ගෝරනාඩු කලා.ඒ හඬ අනුරාධගේ මතකයේ ඈත කෙළවරක් කිති කැව්වා.දුම් ගඳ,පොඩි උන්ගෙ කෑ ගැසීම්,කාණු,රෙදි වැල්,කසිප්පු,බඩගින්න,අම්මගෙ ආදරය,කඩ කෑල්ල.....ඒ මතක එක්ක එකතු උන තවත් මතකයක්...

"ලයනල්??”

අමුතු කතාවේ 15 කොටස ලිව්වේ
Poppy
http://somethingfromeverything.blogspot.com

Wednesday, May 12, 2010

අමුතු කතාවක් 14 කොටස

මහත්තයා නෝනට ඔය අටමගල් උම්බලකඩ කෑල්ල දෙද්දිම ඒකේ ඔය නොම්බරේ දාලා තිබුනේ.නෝනගේ කලින් තිබ්බ ඕවැයින් එක නැති කරෙත් මහත්තයම තමයි.මම මහත්තයා හිතින් ගහපු පැලෑන ගැන නං දන්නේ නෑ.කොහොම උනත් නෝනා අර කොලුවට කියන්න පරෙස්සං වෙන්නයි කියලා.නෝනගේ අප්පා උනාය, බෝධිසත්තයා වගේ හිටිය ලොකු නොනටත් ආංබාං කරන්න බැරි වෙච්චි. . . අපි හැමෝම දන්නවා නෙව නෝනෙ මහත්තයගේ හැටි!

මම එහෙනං යන්නං!

නෝනේ පරෙස්සමෙන් ඉන්න.

…………

උරය පලා සැතකින් බලන් රුහිරූ

එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ. . .

සෙටප් එක එබුව ගමනින් ඇගේ ප්‍රියතම ගීය මැදකින් වාදනය වෙමින් තිබුනේ කුමන අරුමයකටද යන්න නොහිත, හැමදාම මල් ගීත දෙන චැනලයටත් ඈ පිං දෙන්නට වූයේ. . .

මනස විඩාකාරී මොහොතේ අවශ්‍යම වූ සුවය ක්ෂණයෙන් ලබා දුන් නිසාවෙනි.තේකක් හදන්න කියලා කුස්සියට ගෑටුවද, පැකට් එකේ බලෙන් උණු වතුර ටික දුඹුරු පාට වෙන්නත් කලින් දුරකතනය නම් වූ මේ අවස්තාවේ ඇගේ ප්‍රානසම වස්තුව නාද වූ හෙයින් දිව ගියේ දෙගිඩියකිනි.

අප්පච්චි ද? අනූ ද?

අනූ. . . නැත; සිතින් අනූ බලාපොරොත්තු උනද ඇමතුවේ නිශාල් ය.නිශාල් යනු තමරිගේ පියාගේ දේශපාලන ගජයෙකු ගේ පුතෙකු වූ අතර, කුඩාකල සිටම ඔවුනොවුන් මිතුරන්ද විය.නිශාල කලෙක සිට විදෙස්ගතව හිඳ නැවත ලක්දිව ගොඩබැස ඇති අතර මෑත කාලයෙ සිට නිශාල් එන පොට හොඳ නැති බව තමරි ට වැටහී තිබිනි.

හෙලෝ නිශා

තමී. . . එනවකෝ ස්කයිප්!

ඔය දන්නවනේ මම තමී කියනවට කැමති නැති විත්තිය.ඒක මම කියන්න අවසර දෙන්නේ මේ ලෝකෙන් එක්කෙනෙක්ට විතරයි.

සමාවෙන්ඩ ඕනේ ලොකු මැඩම්.එහෙනං ස්කයිප් එනවද?

අද බෑ.මම ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ.මේ අස්සේ මගේ හිතට සැනසිල්ලක් නෑ.කරුණාකරලා මගෙන් අහන්නෙපා ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්ලීස්!

හරි.එහෙනං ඔයාගේ හිත හැදෙන්නත් එක්ක අපි හෙට යමුද කොහේහරි. මම එන්නං එක්කන් යන්න.

ඔයාට පිස්සුද නිශාල්.

කේන්තියට කෝල් එන්ඩ් බොත්තම වැඩිපුරත් වෙලා ඔබලා කතාව විසන්ධි කරපු තමරී කල්පනා කරේ තමුන් කටින් දේවල් කියවුනා වැඩි දෝ කියලා.නිශාලුත් හොඳ මනුස්සයෙක් නෙමෙයි.අනූ ගැන දැනගත්තොත් මොනවැයින් මොනවා වේවිද? තමරී ට වැඩිවෙලා මේ විදිහට කල්පනා කරන්න හම්බුනේ නෑ.අනූ කියන වචනේ සිහියට ආපු ගමන් සිරිල් කියන කන්ටෑක්ට් එකට කෝල් වෙලත් ඉවරයි.අනෙක් පස ප්‍රතිචාරයක් නැති බව දැනගත් හෙයින් ඇගේ හිතට සහනයක් දැනුනේ අනුරාධ තමාගේ කීමට දුරකතනය ක්‍රියාවිරහිත කරනට ඇති බව සිහිවීමෙනි.ආපහු සෝපාව ඇතුලේ ගුලි වෙච්ච ඇයට ජිනදාසගේ කතාවේ අමුත්තක් ඇති බව තෙරුනි.මේ මනුස්සයා මට මොනවත් හංගනවද?

ඒ රහස තමං ගැනමද? තමන්ට තමුනුත් විශ්වාස නැති ලෝකෙක එසේද විය හැකි බැව් ඈට වැටහුනි.තමා නොවේනම් තමාගෙන් හිස් වන සැක කුලකය පුරවන්නට කවුරුන්ද. . .

අප්පච්චී, අනූ, සිරිල්, නිශාල්, එහෙමත් නැත්තං නිශාල්ගේ තාත්තා වෙච්චි ධම්මික අන්කල්.

හිත බර වැඩි කමටද, සෝපාව සැප වඩි කමටද තමරී දෙමළ කොල්ලා හිතේ මවාගෙන දෑස් පියාගත්තේය.

අමුතු කතාවේ 14 කොටස ලිව්වේ
මුචලින්ද
http://muchalindha.blogspot.com