අමුතු කතාව 9 කොටස

|

අතීතයේ අඳුරු අහුමුලු පීරමින් සොයද්දී එක තැනක ඉඳන් තව තැනකට සීරුවෙන් අඩිය තියමින් යන ගමන් ලයනල් කියපු

"උඹ තාත්ත කියන්නෙ උඹලගෙ තාත්තට නෙවෙයි."

කියලා කියපු දේට සම්බන්ධයක් තියෙන දෙයක් ගැන පුංචි මතකයක් . . . මතකයේ නොරැඳෙන තරම් පුංචි කාලයේ සිදුවූ සිදුවීමක මතකයක් මේ දැන් දුටුව දරුප්‍රසූතියට රෝහලට ත්‍රීවීලයෙන් පැමින වේදනාව අතරින්ම මුවේ මඳහසක් නඟාගෙන බැස්ස මාතාවගේ දර්ශනය හරහා ආයාසයෙන් මතකයට නංවාගන්න උත්සාහ කිරීමේදී දෝරගලා ආවේ හරියට හිරකරලා තිබුනු වතුර පාරක් වක්කඩක් කැඩුවා වගේ වේගයෙන් . ..

දිනක් පාසැල් ඇරිලා සුපුරුදු පරිදි කුනු ගඳ ගහන කානුව පහුකරන් බාගෙට වැහිලා තිබු ලෑලි දොර ඇරගෙන ගෙදර ඇවිත් පොත් ටික . . . කෑම උයද්දී ප්‍රයෝජනයට ගන්නත්, උයපුවා හෝ හදපු රොටී දෙක ප්ලාස්ටික් පිඟානකින් වහලා තියන්නත්, මගේ පොත් කීපය තියා ගන්නත්, මට පාඩම් වැඩ කරන්නත් ආදී සියලුම දේ වෙනුවෙන් අපේ දිරාගිය ලෑලි ගෙදරට තිබුනු එකම මේසය උඩින් තියා පාසැල් අඳින මගේ එකම කලිසමයි කමිසෙයි ගලවා දමා අන්ඩ දැමූ කොට කලිසම ඇඳගෙන ආපහු දිව්වේ මුඩුක්කු පේලියේ අනිත් ලමයින් එක්ක සෙල්ලම් කරන්න . ..

හති වැටෙන කම් සෙල්ලම් කල මම නිවසට ආවේ කුසගින්න තවදුරටත් ඉවසා ගන්න නොහැකි බව දැනුනු පසුවයි . .

"අම්මේ බඩගිනී. . ."

කියාගෙන ලිපට පිඹිමින් උන්නු අම්මා ලඟට ගිය ගමන්

" පොඩ්ඩක් හිටපන් පුතේ . . මම මේ කහට කෝප්පයක් හදලා සීනි ඇට දෙකක් දාගෙන අරන් එනකම්"

කිව්වේ ආදරෙන් මගේ ඔලුව අතගාන ගමන් . . . දෙන්නෙකුට තියා එක්කෙනෙකුටත් බඩ පිරෙන තරමට කන්න මදි පොඩි රෝස් පාන් ගෙඩිය වම් අතිනුත් තේ කහට දැමූ කහට ගැහුනු ඇල්මිනියම් කෝප්පෙ දකුනු අතිනුත් ගත්තු අම්මා එලියේ තබා තිබුනු පුංචි බංකුවේ වාඩි වෙලා මාව අම්මගේ ඔඩොක්කුවේ වාඩි කරන් පොඩි පොඩි රෝස්පාන් කෑලි කඩ කඩා තේ වතුරේ පොඟවමින් මට කැව්වේ මගේ ඔලුව විඩෙන් විඩේ ඉඹින ගමන් . . .

උදේ ඉඳන් කෑමට මොකුත් නොතිබෙන්න ඇති බව දැනගෙන උන්නු නමුත් . . පාන් කෑලි පහක් විතර මගේ කටට යන කොටත් අම්මගේ කටට එකක් විතරක් යන එක ගන

"අම්මත් කන්නකො . . මට විතරක් කවන්නේ "

කියා නොකිව්වේ එහෙම වුනොත් මගේ බඩ පිරෙන්න කන්න නොලබෙයි කියලා හිතු නිසා වෙන්න ඇති කියලා හිතුනු මට මා ගැනම උපන්නේ මහාම මහා පිලිකුලක් . . . බෙල්ලට වැටුනු සීතලත් නොවන රස්නෙත් නොවන වතුර බින්දුවක් නිසා මොකද්දැයි බලන්න බෙල්ල හරවා බැලූ මා දුටුවේ අම්මගේ දෙනෙත දිගේ නිදහසේ රූරා වැටෙන කඳුළු බිංදු. . .මගේ බෙල්ලට වැටෙන්න ඇත්තේ එයින් එකක් බව පුංචි මට වහා තේරුම් යන්න ඇති . . .

"ඇයි අම්මේ . . ඇයි මගේ අම්මා අඬන්නේ . .. ?"

"අනේ එයා හිටියා නම් . . . "

අම්මා කිව්වේ කෙඳිරිලි හඬකින් බව මතක් වුනු මගේ දෙසවන් මහා ගෝසාවකින් පිරුනා වගේ මට දැනුනේ . . .

"කව්ද අම්මේ එයා . . "

කියා මා ඇසූ පැනයට එක්වරම පිළිතුරක් නොදුන් අම්මා මගේ දිහා ඇස් පිය නොගසා බලා හිටියේ . . . දසමාසයක් කුසේ දරන් ඉඳපු තමන්ගේ ලේ කැටි බිළිඳා බිහිකරන්න තමාට උදව් කරන්න සැරසෙන වින්නඹු අම්මා දෙස "මේ ඇත්ති මට මගේ විශ්වාස කරන්න පුලුවන්ද" කියා සිතනු වැනිව මෙතුවක් කාලයක් කිසිවෙකුටත් නොපැවසූ යමක් . . සිතේ ගුලිකරගෙන තනිවම වේදනා විඳි යමක් පැවසීමට තරම් මා විශ්වාස කලහැකිදැයි සිතන්න මෙන් . . .
ගඳ ගහන මුඩුක්කුවේ ජීවත් වූ අප්පා ඇරුනාම ඈට කරුනාවෙන් සැලකූ එකම මනුස්ස ප්‍රානීන් දෙදෙනා වූ . . අව්වට මල් පිච්චුනු රතු පාටට හුරු සාරියක් ඇඳන් කුඩේකුත් අත්බෑගයකුත් අරන් . . තොල්දෙකේ රතුපාට උලාගෙන හවසට එලියට බහින ලයනල්ගේ අම්මා වූ කල්‍යානි නැන්දා . .

"සුවර්නෝ මට ලූනු බෑයක් දියන් කෙල්ලේ . . . අද මට හරිම විසේකාර අවුරුදු හැටක විතර කොළු ගැටයෙක් මාට්ටු වුනානේ බං . . . එලිවෙන කම් ඌ එක්ක හිටියොත් පන්සීයක් දෙනවා කිව්ව වුනත් උදේ ඉඳන් පාන් කෑල්ලක් වත් නොකා ඉන්න කොල්ල ගැනයි . .
කෝච්චියේ පික් පොකට් ගහනන් ගිහින් මාට්ටු වෙලා කෝච්චියෙන් පැනලා කකුල් දෙකම කඩා ගත්ත වුනත් නමට හරි වාහේ වෙච්චි  ලයනල් ගේ මහ එකායි ගැන හිත උනුවෙලා ඒකා දුන්නු රුපියල් සීය ගුලි කරගෙන අවේ මුන් දෙන්නට කන්න දෙයක් රත් කරලා දීලා යන දේවාලෙක යන්න කියලා බං . .
තදියමට මට ලූනු ටිකක් ගන්න බැරි වුනා . . "

යි කියන තරමට ඈට හිතවත් වුනා වුවත් . . . කලවේ  කොටපු  “පුක දෙනවද?? වෙඩි කනවද??” පච්චය පේන්නත් කසිප්පු බිස්නස් එකට අමතර ආදායම් මාර්ගයක් වූ ගංජා වෙලඳාමේ ජංගම ගබඩාව වූ ශිපර් දමා මැසූ යට කලිසම පේන්නත් තරමට සරම දනහිසෙන් අඩියක් තරම් උඩට උස්සගෙන පාරේ ගමන් කරන නීල් මාමා හැමදාම උදේට දොරකටට විත්

" සුදු මැනිකේ . . මට ගින්දර ටිකක් දියන් රත්තරන් නංගියේ . . . උදේම උඹේ මූන දැක්ක දවසට බිස්නස් එක වාසී නංගියේ . . "

කියා ඈට සෙනෙහස දැක්වූවා වුනත් . . .  ඒ කිසිවෙකුට මෙතෙක් නොපැවසූ යමක් මට කීමට මගේ විස්වාසවන්තභාවය ගැන සහතිකයක් ලබාගැනීමට මෙන් මා දෙස විනාඩි ගනනක් බලා සිටි අම්මා අන්තිමට

"එයා තමයි මට ජීවිතේ ඉගැන්නුවේ පුතේ . . . . එයා තමයි මට ලෝකය දකින්න ඉගැන්නුවේ . . "

කියා ඉදිරිය බලාගෙන කීවේ මට ඇහෙන්න නොව හිස් අවකාෂයට එහායින් වූ වෙනත් ලෝකයක කිසියම් කෙනෙකුට ඇහෙන්න කියනාක් මෙන් . ..

"රදා වඩු ගෙදර රංජිත් . . . හ්හ්හ්ම්ම්ම් . . . " වලව්වේ මහන්තත්ත කමින් ඔලුව උදුම්මගෙන හිටපු ස්වර්ණා මැනිකේගේ ඇතුලේ හුලං විතරක් තිබුනු බැලුම් බෝලයක් වගේ තිබුනු ඔලුව ආදරයෙන් කරුනාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් පුරවපු රංජිත් . . .

"හුලං හමන්නේ අපිට ගීතයකුත් මුමුනමින් කියලා මට කියලා දුන්නේ එයයි පුතේ . . .
මල් පෙති වල වුනත් කවි ලියන්න පුලුවන් කියලා මට ඉගැන්නුවේ එයයි . . . සමනලුන්ගේ අතේ පැනි කුරුල්ලන්ගේ අතේ පෙම් පනිවිඩ යවන්න මට ඉගැන්නුවේ එයයි . . . "
"වෙනදට ගෙදරට ආවම මම මූන වත් නොබලන රෙදි නැන්දට . . එන්න නැන්දේ . . තේ එකක් කාරිය බොමුද . . ? කිව්වාම අපේ අම්මා මගෙ දිහා බැලුවේ මාව ගිලින්න වගේ . . "
"අක්කගේ මගුලට නැකැත් හදාගෙන ආපු රන්නා ගුරුන්නාන්සේට . . ඈඳි ගන්න මාමේ . . කිව්වයි කියලා අම්මයි අක්කලයි මාව මරාගෙන නොකෑවා විතරයි . . ."
"ඔය ඔක්කොම දේවල් කරන්න තරම් නිහතමානි වෙන්නත් . . ඕනෑම දේකට මූන දෙන්න තරම් මගේ හිත හයි හත්තිය ඇති කලේත් එයා තමයි . . . "
"රංජිත් ගැන දැනගෙන තෝව ඔය ඉගෙන ගන්න කියලා යැව්වේ අඩු කුලේ එකෙක්ට දීග දෙන්න නෙමයි කියලා මට අම්මයි අප්පච්චියි තඩිබාන කොට . . .

උඹලා මහා ලොකු බෞද්ධයෝ . . ඒත් මිනිහෙක් උපතින්ම වසලයෙක් හරි බ්‍රාහ්මනයෙක් හරි වෙන්නේ නෑ තමන් කරන දේවලිනුයි ඒක තීරනය වෙන්නේ කියපු බුදුහාමුදුරුවොත් විකුනන්න පුලුවන් නම් විකුනයි මුදලි පරම්පරාවක එකෙක් ආවානම් . . .

කියලා මට අම්මල එක්ක රන්ඩුවෙන්න හයිය තිබුනේ එයා මට උගන්නපු දේවල් නිසා . . ."


"වාසගම බලලා යාලුවෝ තෝරගන්න පුරුදු වෙලා හිටි මගේ හිත එයා වෙනක් කලේ හරිම පුදුම විදීහට . . .
බුදු හාමුදුරුවෝ ශාක්‍යන්ගේ මාන්නේ බිඳපු හැටි එයා කිව්වේ මට ඇහෙන්න මගේ යාලුවෙකුට . . .
ක්ෂුද්‍රයන්ගේ ගෙයකින් දානේ වැලඳුවයි කියලා දෙතෝදන - සුදෝධන රජතුමාගේ මල්ලී කිව්වලු බුදු හාමුදුරුවන්ට අනේ අපේ කුලේ කිසි කෙනෙක් උන්ගේ ගෙවල් වලින් කනවා බොනව තියා ඒ පැත්ත වත් බලන්නේ නෑ ඇයි ඔබ තුමා අපිට මෙහෙම අපහාස කරන්නේ කියලා . .

බුදු හාමුදුරුවෝ ඇහුවලු ඔබතුමන්ලාගේ ප්‍රධාන කෑම ජාතිය මොකද්ද කියලා . .

පහල තියෙන කුඹුරු යායෙන් ලබා ගන්න හාල් වලින් ඉදෙන බත් කිව්වලු .  

ක්ෂුද්‍රයො ජීවත් වෙන්නේ කොහෙද කියලා අහුවලු . . . කුඹුරු යාය කිට්ටුව පහත්බිමේ කිව්වලු . . . . .

ඒ අය කක්ක කරන්නේ කොහේද කියලා ඇහුවලු . . .

වැසිකිලි පහසුකම් නැති උන් තැන් තැන් වල ඒ වැඩේ කරනවා ඇත්තේ කියලා කිව්වලු . . .

වැස්සට ඒ අයගේ ජරාව එකතු කරගෙන ගිහින් ඒවා රැඳෙන්නේ කුඹුරෙනේ . .

ඉතිං ඒ අයගේ ජරාවෙන් සරුවට වැවෙන හාල් වලින් හදන බත් කන්න හොඳයි නම් ඒ අයගේ ගෙදරකින් දුන්නු කෑමක් කෑවට මක් වෙනවද කියලා බුදු හාමුදුරුවෝ ඇහුවලු . ..


එයාව වාහනයකට හප්පලා කවුදෝ මරලා දාලා කියලා උඩුනුවර මාමා ඇවිත් කිව්ව දවසේ අපේ අප්පච්චිගේ මූනේ තිබුනු හිනාව මට කවදාවත් අමතක කරන්න බෑ පුතේ . . .

උන් එයාව මරා දැම්මා . . .

වංශේකබල් ගාන . . .

බුද්දාගමේ කියන්නත් ලැජ්ජ මහ ලොකු බෞද්ධයේ වෙච්චි උන් එයා අඩුකුලේ එකෙක් වෙලා වලව්වේ කෙල්ලෙක්ට ආදරේ කල පවට . . .

උන් එයාව මැරුවා පුතේ . .

එයාගෙන් මට ලැබුනු වටිනාම වස්තුව අරගෙන වලව්වේ මට හිතවත්ව හිටපු එකම එක මනුස්සයා එක්ක ඒ අපායෙන් ගැලවිලා එනවා මිසක් මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ පුතේ . . 

අනේ එයා හිටියානම් උඹට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නෑ මගේ රත්තරන්….


කියූ අම්මා මහා හඬින් අඬමින් තැන් තැන් වල අන්ඩ දැමූ චීත්තයෙන් කඳුලු පිසූ  සැටි සිහිවූ මට මේ මොහොතේදී  එදා පොඩි එකා අද පොඩි එකෙක් නොවුනත් එදා අම්මා දැවූ වේදනාව වෙනුවෙන් ඇගේ ඒ වේදනාවට ඉකිබිඳ හඩන්නද . . .

අම්මගේ අප්පච්චි වූ මුහන්දිරම් රාළහාමිට වෛර කරනවාද . . . කියා සිතා ගත නොහැකි වූ වෙනස් හැඟීම් දෙකක් එක් වරම මාව පෙලනවා වගේ දැනුනා . ..

අමුතු කතාවේ 9 කොටස ලිව්වේ
දුකා

http://dukaa.blogspot.com

අමුතු කතාව 8 කොටස

|

"මම බයවුන තරමක්"

"සිවා මොකද බං මේ මහ රෑ.."

මම ඇහුවෙ සිවා බයකරපු බය කිරිල්ලට තාම පපුව ඩිග් ඩිග් ගාන එක දැන් නැවතෙයි දැන් නැවතෙයි කියල හිතන ගමන්..

"මචං හදිසියක්.. මේ අටම‍ගලෙ තව කිලෝමීටරයක් යන්න ඩීසල් නෑ.."
"ඉතිං.."

"බලපංකො ඇතුල.."

"හත්දෙයියනේ සෝමෙ අයියෙ මේ මොකද වුනේ"

"උඹ මහ පුදුම බූරුවෙක්නෙ සිවො.. මේ ජල්බරි අස්සෙද උඹ අර ‍ගොන් ආතල් එක ගත්තෙ"


අන්තිමට මම සිවා එක්ක එතෙක් තිබුන තරහා පිටකරගත්තෙමි..

නලලින් පටන්‍ ගෙන මුළු මුහුණ පුරාම ලේ දහරා ඇඳී තිබූ සෝමෙ අයියාගේ ඇස කරාද ලේ පාරක් පැමිණ තිබුනි. මල්ෂිගේ රෝස පැහැති කුඩා ලේන්සුව සෝමෙ අයියාගේ තට්ටය හා නලල පුරා දිවගියේ එය රෝස පැහැ තිත් වැටුණ රතුපාට ලේන්සුවක් බවට පත්කරමිනි.

"බයික් එකක හැප්පිලා පාරෙ ඔළුව වැදුනා. ඌ බීලා හිටියෙ පොලීසියට අහුවුනානම් අම්බානක චාටර් වෙන හින්දා මම ඌට යන්න ඇරියා"

සෝමෙ අයියා වේදනාව මැදින් කෙඳිරි ගෑවේය.

"නගින්න කාර් එකට යං හොස්පිටල්"

   
.........................................................................

සෝමෙ අයියාට නින්ද ගොස් තිබූ නිසා මල්ෂී රෑ දෙගොඩහරියට පෙර පිටත් කර හැර මම බිත්තියට හේත්තු වූ පසු මම මගේ අතීතයට ඇදීගියේ අතහැරල දාපු පින්තූරයක් ආයි දූවිලි ගසල දාලා මගේ ඉදිරියේ මතුවුන නිසා වෙන්න ඇති.
ගුණසේන එකේ වැඩට ආපු දවසෙ ඉඳන් මේ වෙනකම් මගේ ජීවිතයේ සිද්ද වුන දේවල් එකින් එක ස්මරණය වෙන්න ගත්තෙ ඇතුලෙ නිදියගෙන ඉන්න සෝමෙ අයියත් ඇයත් ඒ හැම සිද්ධියකම පිටිපස්සෙ සිටින නිසා නෙමෙයි කියන්න තරම් ආත්මාරථකාමීත්වයක් මට තිබුනෙ නෑ.

පොත්හලේ ප්‍රධානියා සෑම් සර්ට මගේ නමටත් ජාතියටත් වඩා ‍මගේ වැඩකිරීමේ හැකියාව වැදගත් වුන හින්ද ඊට ‍පස්සෙ දවසෙ ඉඳන් මම ගුණසේන පොත්හලේ සහයකයෙක් විදිහට වැඩ කරන්න ගත්තා. පලවෙනි රැය පොත් වල තීන්ත, කඩදාසි සුවඳ එක්ක ගෙවිලා ගියාට පස්සෙ දෙවනි දවසෙ ඉඳන් මගේ ජීවිතයට එකපාරටම ක‍ඩාපාත්වුන සෝමෙ අයියගෙ බංගලාව වුන ස්ටෝරුව වත්තෙ පහේ පේළියෙ තුන්වන ලෑලි ගෙදර මගේ වාසභවන වුනා.

"උඹ අනුරාධ කිව්ව නේද"

"ඔව් සෝමෙ අයියෙ"

"අනුරාධ අනිත් න‍ම"

"නදියවරන් සෝමෙ අයියෙ"

යකෝ හැම වචනෙම අන්තිමට සෝමෙ අයියෙ.. සෝමෙ අයියෙ.. කියල උඹ ම‍ට මගේ නමත් එපාකරවන්නද හදන්නෙ.

"හරි සෝමෙ අ....."

"‍අවුලක් නෑ ඕනි මගුලක් කියපං කොහොමත් ඕක මම දාගත්ත නමක් නෙමෙයිනෙ මටත් ඔය නම පේන්න බෑ කොහොමත් අදාල වෙන්නෙ මල මගුල් ජාතියවත්, ආගමවත්, නමවත් නෙමෙයිනෙ.. ඉතිං නදිය‍වරන් කිව්වෙ උඹ දෙමලද"

"එහෙමත්ම නෑ"

"එහෙනං"

මම මගේ අමිහිරි ජීවන තනුව සෝමෙ අයියා ලඟ වාදනය කිරීම ඇරඹීය. සෝමෙ අයියාට මම ගැන දුකක් ඇතිවීද අනුකම්පාවක් ඇතිවීද යන්න මට අදටත් තේරුම් නොයාමට තරම් සෝමෙ අයියාගේ හැඟීම් ප්‍රකාශනය සංකීර්ණය. කෙසේ නමුත් මම එදා සිට සෝමෙ අයියාගේ බංගලාවේ කාමරයකට අයිතිවාසිකම් දරමි.

ජීවිතය රතුපාටද, කොලපාටද, කියල මට එකපාරටම කියන්න බැරිවුනත් කළුපාට ජීවිතයක් කොයිවගේද කියල මම දැනගෙන හිටියා. ඉඳහිට කඩේට එන සුන්දරියක් පෙන්වා "පට්ටයි නේද බං" කියල සෝමෙ අයිය මාව කෙනිත්තුවත් ආදරයක බරක් ඔළුව උඩ තියාගන්න තරම් මගේ කශේරුකාව හයිවෙලා තිබුනෙ නෑ.. අහම්බෙන් හතර පස් වතාවක් එකම රුවක් නෙත ගැටුනත් හිත ඇතුලෙ ආදරය කියන් හිස් ටින් එකේ පියන වහගෙන හිටපු හින්ද මම ඒක එහෙමම ලොප් කරගත්තා..

"අයින් වෙන්ඩෝ... අයින් වෙන්ඩෝ..."

ඇඳක් තල්ලුකරගෙන මාව පහුකරගෙන යන ඇටෙන්ඩන්ලා දෙදෙනාගේ කෑගැසීමෙන් දැහැනෙන් මිදුන මම කම්මැලි කමට එලියට බැස්සෙ හුලං පාරක් වදින්නත් එක්ක.
තාම ගලවල දාන්න බැරිවුන ජාතික කොඩියක් රෝහල් ගේට්ටු කණුවේ ලෙලදෙනවා.

සෝමෙ අයිය එක දවසක් කියපු කතාවක් මට මතක් වුනා.

"ඔය සිංහයා කඩුවෙන් බෙල්ල කපාගෙන මැරිච්ච එකෙක්. ඔය වටේටම තියෙන්නෙ සිංහයගෙන් ගලන කුණු ලේ ඔය ලේ ටික උතුරලා දවසක බෝ කොළ හතරත් යටකරගෙන වාන් දානව බං"

සෝමෙ අයියත් මාර පොරක්...

මට එහෙම හිතුනා

‍‍රෝහල ඉදිරිපිට අරලිය ගස යට බංකුවේ වාඩ්වුන මට මෙච්චර වෙලා කුයිල ගඳේ පෙනහළුවල ඇතුලෙ හිරවෙලා තිබුන හුස්ම ටික පිටකරලා දැම්මා. ඈත ගර්භනී මවක් වත්තන් කරගෙන ඇගේ සැම්යා ත්‍රීවිලයකින් බිමට බසියි. වේදනාව මැදින් වුවද ඇගේ මුහුනේ මදහසක් රැඳී ඇත.

අම්මත් මම ඉපදෙන කොට මෙහෙම එන්න ඇති.

මම නැවතත් අතීතයට එබුනා..

අමුතු කතාවේ 8 කොටස ලිව්වේ
ආගන්තුකයා

http://www.ambarox.blogspot.com
http://www.ecolama.blogspot.com
http://pothrakke.blogspot.com

 

අමුතු කතාව 7 කොටස

|

ඈතට යන රුව එකවරම නැවතිණ. ඒ පාර මාරුවීම සඳහා බව අනුමාන කරන්න ට මට වැඩිවෙලා ගියේ නැත. මේ රුව පාර මාරුවෙන්නේ එහා පැත්තේ තිබෙන රථයට නැඟීම ට බව ඉවෙන් මෙන් දැනුන නිසා මම පාර වම් පැත්තට ඒ රුව ඈත දීම පැනගතිමි.
පපුව ගැහෙන සද්දෙ ට හදවත් කැඩී විසිවෙන තරමට වේගවත් වුව.., මගේ අවිදුර දෘෂ්ටික බව නිසා මට රුව ළඟ ට ම යාමට අවැසි විය.

බෝට්නෙක් ටීෂර්ට්ටුවත්, ත්‍රී ක්වාටර් ඩෙනිමත් මට ගෙන ආවේ සුපුරුදු බවකි. එයට ගූචි කොලොන් සුවඳ ද එකතැන්වූ විට මැවෙන්නේ මට ස්වර්ගයක් වූ ඇයව ය.

ත..තමරී...?

කාරයේ දොරට යතුර ඔබන්නට උත්සාහ කරමින් සිටි ඇය මා  දෙස බලා සිටියේ ගල් ගැසී ය.

දෙයියනේ ඔයා...?

තරුණියට වදන් ගලපා ගන්නට ද අමාරු ය. දෙවුලොවින් බට දෙව්ලියක බඳු ඈ මිහිපිට පෙරේතයෙකු වැනි වූ මාව අඳුනා ගන්නට වැඩිවෙලා ගියේ නැත.

දෙයියනේ අනූ ඔයා..? ඔයාට මොකද උනේ දරුවෝ..? ඇයි මාව දාලා ගියේ.., මම මොනතරං ඔයාව හෙව්වද? මම කීපාරක් ගුණසේන එකට මෙහෙ ඉඳන් ගියාද ඔයාව හොයන්න...? ඇයි මාව මේ විදියට මඟ අරින්නේ..?
මාව ඔයාට එපාවෙලාද අනූ ?

මෙතුවක් කාලයට මට වූ දේ වැකි දෙකකින් කිවිය හැකි වුවත් මට මේ දෙව්ලියව තවත් මනසින් වට්ටන්නට මේ වේලාවේ දී උවමනාවක් ඇත්තේම නැත.

ඔයා මේ රෑ කොහෙද යන්නේ..?

මගේ යාලුවෙක් ගේ අක්කගේ වෙඩින් එක..; මම ඒකට ආව උදව් වෙන්න.
මේ රෑ කොහෙද යන්නේ දැං..?
මගේ අපාර්ට්මන්ට් එක ට.

ඒ කියන්නේ ඔයා...?


ඔවු මම දැං ඉන්නේ තනියම.., මට දැං ඉන්නේ මම විතරයි. තාත්තා ගේ ජීවිතේ දේශපාලනේ. මං ගාව හිටියේ අම්මා විත්තිය ඔයා දන්නවා නේ..?

මට අමතක වෙන්න විදියක් ඇත්තේ ම නැත. එක දුරුතු මසකදී ගුණසේන එකෙදී මට ඈව හමු වූයේ ඈ මව හා සිටියදී ය. මවද ඈ මෙන් ම කරුණාබර කතකි.

කොහොමද දැන් අම්මට..?

මම ඇසීමි. ඇය හැරුනුවිට මා වඩාත් ආලය කරන ගරුකරන අයෙකු ගැන මට අසන්නට ඇත්තේ එපමණකි.

අම්ම අන්තරා උනා අනුරාධ. ඒකයි මට මෙහෙම උනේ.., ඒකයි මම තනියම ඉන්නේ..!

ජීවන අංකුරයක ට ඒ මව්වත් වෘක්ෂයේ පහස නැති වී ගිය විට ඇතිවනා දොම්නස දැන නොගන්නට  මම මෘගයෙකු තත්ත්වය ට පත්වී නැත්තේ මම ද මේ වැනිම හේතු කාරකයකට මුහුණ දී ඇති නිසාවෙනි.

මට සමාවෙන්න තමී.., මම කවදාවත් හිතුවේ නෑ අම්මා මේ තරං ඉකමනට ඔයාව දාලා යයි කියලා..

ඒක දිගකතාවක් අනුරාධ.., කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා කියන්න බැරිතරම් පැටලිච්ච.

ඈ හිස් අහස දෙස බලාන අනිමිස ලෝචනයේ ය.

හරි මේ අහන්න තමී.., දැන්  යන්න ඔයා ඉන්න අපාර්ට්මන්ට් එකට.

මට යන්න හදිස්සියක් නෑ අනූ.., අනික මම දැන් ස්වාධීන කෙල්ලෙක් නිසා මට මම කැමති වෙලාවක කැමති තැනක යන්න ඉඩ තියෙනවා.
තවදෙයක්...,
මොකද්ද..?
මම  ඔයාව මේ සැරේ හමුවුනේ ආයිත්  ඈත්වෙන්න බලාගෙන නෙවී. තේරුනාද?

පෙම්වත් කතාවක ට හිත නවන්නට හද පෙරමඟ බැලුවත් විජේතුංග මංත්‍රීතුමා තම දියණියගේ අනාගත අභිවෘධිය තකා මා හා එතුමා අතර වූ පොරොන්දුව නිසා, මා සිටින්නේ දෙලොවක් අතරය.

තම දියණියගේ ආදර සබඳතාව  ගණිකා වෘත්තියේ යොදවා තම දේශපාලන ලොව ඉලක්ක ජයග්‍රහනය කරන්න ට වෙරදරන පියෙකු ගැන අසා ඇත්තේ මොන ලොවේද?
එහෙත් මේ ගතවන විනාඩියෙත් මේ සිරි සද්ධර්මද්වීපය තුල එක නිවෙසක වෙමින් පවතින්නේ ද මේ ඛේදවාචකය ම ය.

මොනවද ඔයා කල්පනා කරන්නේ අනූ..?
තමරී මා උරහිසට අත තබා කියත්ම ඇගේ රථයට මුහුණලා නැවතූ කොරොල්ලා මෝටර් රථයේ දොර තුලින් වීදුරුව පහත් වී එලියට ආවේ තරබාරු හිසකි..

අනුරාධ මල්ලී….., මොකද ඔතන කරන්නේ..?
කවුද ඔය ඉන්නේ.?

යුවතිය අසුරුසැනින් හැරී බැලූවිට දුටු දෙයින් තැති ගෙන මා අත අල්ලාගත්තේ නොදැනුවත්ව ම ය.

දෙයියනේ......?

අමුතු කතාවේ 7 කොටස ලිව්වේ
පිස්සා
http://pissa-pissublog.blogspot.com


අමුතු කතාවක්. 6 කොටස

|

ආයෙමත් මට සමාවෙන්න.. අහම්බෙන් දැක්ක රුවක් ගැන කියල ඉසිඹුවක් නොලබාම මම මගේ හිත එක්ක ගණුදෙනුවක ට ඔබව අල්ල ගත්තා ට..,

මේ කතාව එකම අංශයක ට ගොණුවෙලා ගලාගෙන යනවා. ඒක දරන්නට අමාරු විත්තියත් මම දන්නවා.

ඒත් මගේ කථාව ඔබව පටලනවා නම්.. මකුණු දැලකට අහුවුනු පොඩි මෙරුවෙක් වගේ පැටළුනු මගේ ජිවිතේ ඇතුලේ ඔබ පිළිවෙල කථාවක් බලාපොරොත්තු වෙනවා නම්.. ඒක තමයි මේ ලො‍කේ අසාධාරණම දේ.. සාධාරණය කියන දේ බලාපොරොත්තු වෙන්න තියා ඒ වගේ වචනෙක තේරුමවත් නොදැන ජිවත් ‍වුනු මං වගේ අහිකුණ්ඨක ජිවිතේක ඔබ පිළිවලක් බලාපොරොත්තු වෙන්නත් එපා..

මොකද මේ ගලන්නේ…., මගේ ජීවිතය නිසා….!

මතක ඇති දවස් වල ඉදං වැල්ලවත්තේ මුඩුක්කු අස්සේ.. වැස්ස නැතත් පල්වෙන කාණුවල ගඳ උතුරලා යන පොදු වැසිකිලි ගඳ.. දාඩිය ගඳට.. හවස් වෙද්දි එකතුවෙන කසිප්පු ගඳවල්.. කුණුහරුප බයිලා වලින් ඔළුව කොඩැරි වෙන්න ගත්තම... අම්මාගේ උකුල විතරක් සුවඳක් වෙලා සැපයක් උනු මට..අද මේ අඳුරු කාමරේ ඇතුලේ විටින් විට පෙනෙන අළුගෝසු මුණු.. ලේ ගඳ හැමදේමත් එක්ක.. අහම්බෙන් හමු උනු හිස් එක්සයිස් පොතක සාක්කුවේ ඉතිරි වෙලා තිබ්බ එකම එක නිල් පෑනෙන් පිළිවෙල කතන්දරයක් ලියන්න කියලද කියන්නේ? ඔබට රසවිඳින්න?

මම දන්න මගේ අප්පා නදියවන්.. සෙල්වරාජා නදියවන්.. දෙමළෙක්...!

අම්මා ස්වර්ණා මැණික් බණ්ඩාර දෙමළ වැඩකාරයෙක්ට ආදරේ කරපු වැරැද්දට පිටුවහල් වුනු නම්බුකාර උඩරට වලව්වක කුමාරිහාමි කෙනෙක්.. ඔබත් මමත් දැනටමත් දන්න මගේ අතීතය එහෙමයි..

ඒත් තව එකෙකුට අනුව මම තාත්තා කවුද නොදන්න අවජාතක‍යෙක්..! ඒ මට කවදාවත් දැනගන්න නොලැබුනු මගේ අඳුරු හෙවනැල්ලේ සැබෑ කථාව වෙන්න පුළුවන්.. ඒත් දැනට.. මේ ගෙවෙන හැම අවිනිශ්චිත මොහොතකම ඒ නොදන්න අඳුරු කථාව මා වටා කැරකෙවෙනවා වගේයි මට දැනෙන්නේ..

මේ හැමදේම ආයෙමත් නතර වෙලා ගඳ ගහන මුඩුක්කු පේළියේ අම්මාගේ මතක සුවඳ ඉහිරුණු අප්පාගේ නිහඬ බව පිරුණු ගෙදරට ආයෙමත් යන්න තියනවා නම් ඒත් මගේ ජිවිතේ ‍ඒ තරම්ම සරළ නැති බව මට අමතක නෑ... මෙතනින් එහාට අනාගතයක් ගැන හීන දකිනවට වඩා ගෙවුනු අතීතේ මට මොකද උනේ කියන එක හිතනවා ඇරෙන්න වෙන යමක් මට කරන්න බැරි වෙයි.. අනාගතේට මම බයයි..

ඔබට මතක ඇති දවසක් අප්පා‍ව හොයාගෙන අපේ ‍ගෙදරට ආව මිනිස්සුන්ව... ඒ මිනිස්සු ආව අන්තිම වතාව ඒක නෙවෙයි... එයින් පස්සේ තව වතාවන් බොහෝමයකදි අම්මාගේ නිහඩතාවය ඉස්සරහා සිංහ නාද කරපු උන් යන්න ගියේ අප්පා වෙනුවට අම්මාව කටගැස්මට අරගෙන. ඒ සියල්ල දරාගෙන ඇය නිහඬව සිටි හැටි මට මේ දැනුත් මගේ ඇස් ඉස්සරහා මැවිලා පේනවා වගේ..

තමන්ගේ ජිවිතේ සදළුතලාවෙන් දුහුවිලි පොළවට වැටුනු අම්මා.. මගේ දෑස් ඉදිරිපිටදී රජයේ රෝහල් වාට්ටුවක ‍ඇඳක අවසන් හුස්ම හෙලපු මොහොත මට මේ දැන් වගේ මතක් වෙනවා.. ඒ සුදුමැලි වුනු ජිවය ටිකෙන් ටික මැකිලා ගිය ඇස් දෙකෙන් මට කියන්න හැදුව ඒත් ඇයට කියා ගන්න බැරි වුනු ඒ කථාව ගැන ඒ වෙලාවේ මට යාන්තමින් වත් මතක් උනේ නැහැ. එහෙම මතක් උනා නම්

“අම්මා නිදාගන්න... දැන් මහන්සි වෙන්න එපා”කියලා මම නොකියන්න ඉඩ තිබුනා.. ඇත්තෙන්ම ඒ නින්ද ඈ නිදන අවසන් නින්ද කියලාවත් මට තේරුමක් තිබුනේ නැහැ ඒ වෙලාවේ.. ඇයත් එක්ක ඇය මෙලොවෙන් අරගෙන ගියේ මට හිටි එකම හව්හරන විතරක් නෙවෙයි. මගේ ජිවිතේ නොකියවුනු කථාවකුත් ඒත් එක්කම නිහඞ උනා

ඉස්පිරිතාලයෙන් කෙලින්ම කනත්තේ කෙළවරක සදාකාලයට මිහිදන් වූ ඇය, මාත් අප්පාත් අතර තිබුනු බැදීමත් ලිහලා දාලාගියා ‍වගේ.. ඇගේ මරණෙන් පස්සේ මම අප්පාව දැක්කා නම් දැක්කේ සතියකට හෝ දෙකකට වතාවක් විතරයි.. ඒ වෙලාවල් වලදි වත් කථා කරන්න පුළුවන් තරමේ සිහියක කවදාවත් අප්පා හිටියේ නෑ...ඒ මළානික ඇස් වල තිබුනේ “තෝ තමයි සේරටම මුල... තෝ මගේ ජිවිතේ විනාස කලා” කියනවා වගේ නොකියා කියන වදියේ බැල්මක්. සමහර විට අප්පා මට සැලකුවේ ආගන්තුකයෙකුටත් වඩා ඇහැටවත් නොපෙනන සතෙකුට වගේ. අවුරුදු පහලොවකට ආසන්න කාලයක් එක වහලයක් යට ජිවත් උනු අපි දෙන්නා බොහොම ටික කාලෙකින් අනිත් කෙනා ඉන්නවාද නැද්ද කියලවත් නොදන්න තත්වෙට පත්වෙන කොට අප්පයි අම්මයි ගැන ලයනල් කලින් විටින් විට මට කියලා තිබුනු සේරම දේවල් සාක්කි නැතුවම ‍ඔප්පු වෙනවා වගෙයි මට දැනුනේ.

අම්මා සැමදාම මගේ ඔළුව අතගාලා කියපු

“හොඳට ඉගනගනින් මගේ පුතේ’’

කියන වචන වචන කවදාවත් මට අමතක වෙලා ගියේ නෑ... පාඩමකට තියා හරියට හුස්මක් අරන් අත පය දිගඇරලා ජිවත් වෙන්නවත් බැරි විදියේ පරිසර‍යක හිටපු අපිට ඉගනුම කියන්නේ ඉහලට යන්න පුළුවන් එකම මාර්ගය කියලයි අම්මා හැම වෙලාවෙම කිව්වේ.. ඒකයි යාන්තං හයහතර තේරෙන වයසෙදි ඉදම්ම මට අම්මා පුළුවන් හැම වෙලේ‍ම මොනා හරි කියලා දෙන්න උත්සහ කලේ... පාන් බාගේ සීනි කාල ඔතාගෙන එන පත්තර පිටුවවත් නොකියවා විසි නොකර මාත් එක්ක අකුරු අමුන අමුන කියවන්න අම්මා ඒවා හෝඩි පොත් කරගත්තා..කොටින්ම මට අකුරු වලට ආදරය කරන්නට ඉගැන්නුවේ අම්මා.. පොත් ගන්න සල්ලි නැති වුනත් මහජන පුස්තකාලේ ළමා අංශයේ පටන් කල් යත්ම සියළුම අංශ වල විවිධ මාතෘකා ඔස්සේ කියවන්න හිතන්න.. මවන්න මට හුරු කලේ අම්මා. ඒ හින්දම පොතක් අතේ නැතුව ඉන්න එක අම්මා මට හුරු කරේ මටත් නොතේරන තරම් විදියට...

“ මගේ පුතා පොතක් පතක් බලා ගන්න මට පුළුවන් අනිත් වැඩ කරගන්න”

කියමින් තනිවම නිවසේ වැඩ දරාගන්න ඇය හුරු වුනා...ඇය මේ සියල්ල කරන හැම වෙලාවකම අප්පා කලේ හිස් ඇස් වලින් බලං ඉන්නයි.. ගෙදරට යමක් හම්බ කරපු එකයි විතරයි.. කොහොම උනත් අම්මාගේ මරණෙන් පස්සේ ආ‍යාලේ යන්න ගිය ජිවිතය අමාරුවෙන් උනත් එක තැන් කරගෙන සාමාන්‍ය පෙළ විභාගේ කොහොම හරි කරගන්න මට උදව් උනේ ලයනල්.. මගේ පොඩි කාලේ ඉදන් මට හිටිය එකම යාළුවා.

ජිවිතේ අසීරුම වෙලාවල් වල ලයනල් මගේ ලග හිටියේ යාළුවෙකුටත් වඩා මගේ සහෝදරයෙක් වගේ..ඊටත් වඩා මගේම අප්පා කෙනෙක් වගේ සැමදා මා අසල සිටියේ මිතුරෙකුටත් වඩා

“උඹ අපි වගේ නෙවෙයි නේ.. කොහොමත් වැඩකාරයා.. ඔන්න ඔහේ ඔය ටිකත් ‍ඉස්කෝලේ පලයං.. මොකෝ ස්වර්ණා නැන්දා උනත් ‍ඌඹව හැදුවේ අපි වගේ බජාර් එකේ රස්ති ගහන්න නෙවෙයි නේ”

“ඒත් බං.. ඉගන ගන්න එක සෙල්ලමක් ද.. උඹට මොනා හංගන්නද.. ඉගනගන්න තියා මට දැන් කන්න වත් අප්පා ගෙන් සල්ලි හම්බ වෙන්නේ නැහැ බං.’’

“අප්පා නැතුවට මං ඉන්නේ...” ලයනල් මගේ වියදම් තමන්ගේ කරට ගත්තේ එහෙම කියන ගමන්..

එත් සාමාන්‍ය පෙල විභාගෙන් පස්සේ මට තව දුරටත් ලයනල් මත්තේ යැපෙන්න පුළුවන් උනේ නෑ... මට ඕ‍න උනේ හැමදාම ජිවත් උනු මඩ ගොහොරුවෙන් දශමයක් හෝ ‍ඈත්වෙලා යන්න... හැමවෙලේම අළුත් වෙවී සැමදාම වේදනා දෙන අම්මාගේ මතක පිරිනු ජිවිතෙන් ඈත් වෙලා යන්න...

රස්සාවක් හොයා ගන්නව මිසක් වෙන කිසිම මාර්ගයක් තිබුනේ නෑ මගේ ජිවිතේ වෙනස් කරගන්න. ඒත් ඒ වෙනකොට විභාග ප්‍රතිඵල ඇවිත් තිබුනෙත් නැති නිසා රස්සාවල් හොයන්න ලේසි නැහැ.. ගාමන්ට් වලට “නදියවන්” කියන මගේ දෙමළ නම ප්‍රශ්ණයක් උනා.. සයිවර් කඩ වලට සිංහල ක්‍රම‍යට හුරු වෙච්ච කථා විලාසෙත් එකක් “අනුරාධ’’ නම ප්‍රශ්ණයක් උනා.. එහෙමත් තැනක යමක් කමක් හරි යාගෙන එද්දි ‍මගේ අවාසනාවද මන්දා කොළඹ කොහේ හරි බෝම්බයක් පිපිරුණා.. අළුත් තැන් වල මිනිස්සු එහෙම වෙලාවලදි මගේ දිහා බැලුවේ තව බෝම්බයක් දිහා බලනවා ව‍ගේ.. දවසක් වැඩ කරපු කඩේ මුදලාලි බලලා නතර කරලා ගිය පත්තරේක තිබුනු නුවර ගුණසේන එකේ අබෑර්තුව දැක්කේ.. මම හැමදාම ආස කරපු ආදරේ කරපු පොත් අතරට යන්න තිබ්බ නොඉවසිල්ලත් එක්කම යටිහිතේ හැංගිලා තිබ්බ ස්වර්ණා මැණික් ගේ අතීත නටඹුන් හොයන්න තිබ්බ ආසාවයි තමයි මාව නුවරට ඇදගෙන ආවේ..

මේ හැමදේ ගැන ම කල්පනා කරන කොට මට පවතින සමාජය ගැන තියෙන්නේ වෛරයක් නෙවෙයි කලකිරීමක්. මොකද.., මගේ උවමනාවකට මේ ලෝකෙට එන්න නොදී අනුන්ගේ උවමනාවක් නිසා මගේ ලෝකෙ උන්ට පරිත්‍යාග කරන්න වීම ගැන.

හිත එක්ක පලක් නොමැති කතා මට එපා වී ඇත. ටජ්මහල් දහසක් හිතෙන් හැදුවද., තවම මම පහන් කණුව යට නිසා හිසට වැටෙන දිය මොරගෙඩි මට දන්වන්නට හදන්නේ මේ යථා ලොවතුල එකම ෆැන්ටසිය මගේ හිත පමණක් කියාද...?

පහන් එලි අද්දර ඈතට යමින් දියවන රුව කවුදැයි අඳුනා ගන්නට මට වැඩිවෙලා ගියේ නැත.

අමුතු කතාවේ 6 කොටස ලිව්වේ
malee_msg
http://abnormalminds.blogspot.com
http://maleescreations.blogspot.com
http://pothrakke.blogspot.com

අමුතු කතාවක්. 5 කොටස

|
"අයිඩෙන්ටිය...?"


"ඔව් නැතුව වෙන රෙද්දක් මම තමුසෙගෙන් ඉල්ලුවා ඇහුනේ නෑනේ...?"


"මේ... මේ...,"


"මොකෝ තටමන්නේ තමුසේගේ නම කියනවා බලන්න..,"


"නදියවන්"


"න...නදියවන්...?"


"ඔව්.."


"සාජන් මහත්තයා..., සාජන් මහත්තයා.., මූ දෙමලෙක්ය කියන්නේ...!"



කොස්තාපල්ගේ කෑ ගෑමත් සමඟම ජීප් රියෙන් බැස ආවේ උත්තුංග දේහධාරී රේඩියෝ මැසෙන්ජරයක් අතින් ගත් පුද්ගලයෙකි.

"අයිසේ මේ පී.සී..., ඔය යකාව අත ඇරලා දාලා එනවා යන්න හිල්ටන් එක ගාව ඇක්සිඩන්ට් එකක් වෙලා ලු..,"

"අදට විතරක් තො බේරුනැයි කියලා හිතා ගනු...,පල යන්න කිව්වෙ මෙතනින් මකබෑවෙලා යන ගුබ්බෑයමක ට..."


නදියවන් නම ඇසූ සැනින් උන් හිත් තුල සැකයක් ඇති කලේ හිඟන්නාගේ තුවාලය මෙන් සදාසුවයක් නොලබන මේ කාළකණ්නි යුද්ධය නිසා ය.
එක අහසක් යට ඉන්න අපේ ම එවුන් මරා ගන්නා හැටි...?

නිමේෂයක ට, නන්නත්තාරේ යන කාලකණ්නියෙකු වූ මම බලා උන්නේ ඒ රොද හතර ඈතට යනු දෙස ය.
දවසක් මම, අනෝරාවක් වැස්සක ට පසු මිදුලේ පෑදී තිබූ පුංචි දියවලක මුදුන් වී තිබූ හඳ අල්ලන්න තනද්දී අපේ අම්මා කිව්වේ..,

"පුතේ හඳ අපිට ගොඩක් දුරයි....,

හඳ අපට ගොඩක් දුරයි මගෙ පුතේ..."


අම්මා මා අල්ලන්ගියේ මගේ මඩ තැවරුනු දෑත සෙනෙහෙබරව ඈ ගවුම් රෙද්දෙන් පිසදා ය.

....................... මාරස්සන ඉඳන් දවසක් ට වාර ගණනක් සෙංකඩගල ට ආවගියද, තමරිව දකිනතුරු, මම දැවැන්ත සුවිස් හෝටලය විනා ඒ ඉදිරිපස, නුවර වැව වෙත නැවී හිනැහෙන ඇසල මල් ගහ දුටුවේ නැත.බස් එකේ යන එන තුරු, වැවේ බෝට්ටු, වතුර මල බැලුවද, එළි වැටි, නුවර වැව් පවන් රොදින් රැළි වැටුණු ඒ හඳේ ලස්සන දැක්කේ ද නැත. මාළිගාව වටේ පුන් හදවතින් යුතුව ඔබ හා ඇවිදිත් දී, මා හට කට වහන්න ට බැරි වූ නුවර වාචාල කොල්ලන් ගේ මුවෙන් වැහැරෙන..,

" ෂහ් මරු බඩුව නේද? "


කියා මා සවනත උන්ගේ මුග්ධ වදන කණ වැකෙණ විට මා හදවත මුමුණන්නේ

'තමරී.., නුඹ බඩුවක් වත් ගෙඩියක් වත් නොව............, මා අමාවක පැතූ සඳවතිය' බව ය.


පෙම් හැඟුම් පිබිද නිබඳව ම පය එසැවෙන්නේ නානාගේ මුස්ලිම් හෝටලයට ය. එසේ යද්දී සෙනඟ අස්සේ ඇස ගැටෙන්නේ ඉංගිරිසි අකුරු තුනේ කුකුල් මස් කඩේ ඉදිරිපස කිරිනැති තණයක් උරන දරුවෙකු අතින් රුවා ගත් මවකි...,

"අනේ පවු අහිංසක දරු පැටියා"


යැයි ඈ පවසත් ම ඈව තරව අති අල්ලා ගන්නට සිතුනද මසිත ඊට පසු බෑවේ එවකට මා හද තුල වූ දේ ඈ හාංකවිසියක් වත් නොදන්නා බැවිණි.

හදිසියේ මා සිත දුවන්නේ මෙයට මාස 4 කට පෙර දළදා මාළිගාව අසබඩට ය.
ඒ අප දෙන්නට දෙන්නා එකිනෙකා ට කෝඩුකාර වූ කාලයයි.., මාළිගාවේ බතික් කඩේ ඉස්සරාහ සිට මදෙසට හැරුන ඈ යමක් පවසන්න ට තනන්නේ නෙතට හොරෙන් ය.

"වහිනවා නේ..?"


"හ්ම්ම්ම්"


"එන්න කුඩේ යටට..!"


පොද වැස්ස ට තෙත් වූ අප දෑත් එකිනෙක ස්පර්ශය, හිත ඇතුලේ අකුණු ගසන්නක් මෙන් විය.

"නම මොකද්ද..?"


මම ඇසීමි

"තමරි... තමරි මල්ෂිකා"


ඈ පිළිවදන් දුන්නේ පොළවට ය.

නම ඇසුනද, ඒත් සමඟ ම කුඩය උඩට වැටුනු පුලුන් ගෙඩිය මා හිසට වැටුනේ විසල් රිදුමකුත් සමඟ ය. ඔලුව අතගා ඇස් අරින විට මම තාමත් පහන් කණුව යට ය.
හිතේ වේදනාව හා වූ හිස් වේදනාව දැන් වැඩිය.
අතීතය සිහිනයක් පමණයි යන සරින් ළඟම නැවතූ ත්‍රීවීලරය කින් ඇහෙන්නේ, මට පමණක් ද..?

බම්බුව..... මේ යක්කු අපිට කියන්නේ මැරිල ඉපදෙන්න කියලද...?


තාමත් මම ගාලු පාරේ පහන් කණුව යට ය... දින කිහිපෙක අරගලයකින් පසු පොඩි කඩයක කැශියර් උනේ වාසනාවට ද අවාසනාවට ද...? මමත් සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතාවක වස්තු බීජයක් උනා නම් නවතින්නේ ධනපතියෙකු වීය. ජීවිත ඔය කියනා තරම් මල් පාත්තියක් නොම වෙයි. ආදරයේ වේදනාව, වළාකුලු යට පාවෙනවා වගේ නොම බව මා හට දැනී අවසානය.

මා හිත එක වරම තිගැස්සී ගියේ අහම්බයෙන් දුටු රුවක් නිසාය...





අමුතු කතාවේ 5 කොටස ලිව්වේ
කාවින්ද හෙට්ටිආරච්චි
ඔහු බ්ලොග් ලියන්නෙකු නොවේ.
කාවින්ද හොයාගන්න ක්ලික් කරන්න.

අමුතු කතාවක්. 4 කොටස

|
අමරදේවයන් මේ මුමුණන කෙඳිරිලි සංගීතය මගේ හදවත පුළුස්සන්නේ ලෝදියෙන් උණුකළ ඊයම් වක් කරනවා මෙනි. ලෝකයාගෙන් අපහාස නින්දා විදී මගේ ජිවිතයට සිනාවෙන්නට එක්වරක් හෝ වරමක් ලබාදුන්නේ ඒ අතීත මතක සටහනයි. තමරි මල්ෂිකා නම් වූ ඇයව මට අහම්බෙන් මුණ ගැසුණේ නුවර ගුණසේන පොත් සැලෙනි.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ විගස ලයනල්ගෙන් ඉල්ලා ගත් කළු කලිසමෙනුත් බැජ් එක ගැලවූ පාසැල් සුදු කමිසයෙනුත් දෙහි කැබැල්ලෙන් පිහි දැමූ දුවිලි වැදුණු කාකි සපත්තු වලිනුත් සැරසී ගුණසේන පොත් සැලේ කවුන්ටරය ළඟට වී මගේ කුළුදුල් සම්මුඛ සාකච්ජාව සඳහා වාරය එනතුරු සිතේ තිබූ නොසන්සුන් බව නිසා ළඟ තිබූ එක්සයිස් පොත් රාක්කයක පොත් පිළිවෙලකට සකසමින් සිටියදී හදිසියේම අහම්බෙන් මගේ ඇඟේ පිටුපස හැප්පුණු ඇය ආපහු හැරී “සොරී සොරී” යැයි කියා අතේ තිබූ කොල කැබැල්ල පෙන්වමින් කරුණාසේනගේ “මව හා දුව” පොත තිබේදැයි මගෙන් ඇසු හැටි සිහිවීමෙන් දැනුදු මගේ මුවට සිනාවක් නැගෙයි. එවෙලේ මා කරමින් සිටි දෙය නිසා මා එහි සේවකයෙක් යැයි ඇය සිතන්නට ඇත. ඇයගේ අත්වැරද්ද නිවැරදි කරනවා වෙනුවට

“ඔව් මැඩම්, ඒත් ඒක මෙතන නෙමේ තියෙන්නේ.. මැඩම්ට ඕන නම් මං ගෙනැත් දෙන්නද?”

කියා කියැවුණේ ඇයගේ රූ අසිරිය නිසාද නැතහොත් හිතේ දෙගිඩියාව නිසාවෙන්දැයි මට මතක නැත. පුස්තකාලයේ එතරම් සුදුසු පොත් නොතිබුණු බැවින්, මා විභාගයට ඉගෙනුම ලබනා කාලය තුළ බොහෝ අවස්ථාවල් වලදී පොත් සැල්වල රාක්කයන් අස්සේ කෙටිකතා හෝ විෂය කරුණු හා විචාරයන් සම්බන්ධ පොත් හෝ සොයමින් කියවන්නට පුරුදු වී සිටි නිසා පොත් සැල් වල බොහෝ පොත් තිබෙන තැන් මට හොඳට මතක තිබුණි.

මට ඇයව පසුව හමු වුණේ පන්සලේ කඨින පින්කමට පාසැලෙන් දාන දෙන්නට නියමිතව ඊට සහභාගි වු අවස්ථාවේදීය. එතැන් සිට ගොඩ නැගුනු මිත්‍රත්වයත් එහි අතුරුඵලයක් ලෙස ඇතිවූ සම්බන්ධතාවයත් මා කිසි කලෙක අපේකෂා නොකළ දෙයකි. ඉතිහාසයේ සිදුවූ දේවල් නැවත වාතාවක් සිදුවන බව කොහේදෝ රැලියක මා අසා තිබුනෙමි. එහි අරුත මට නොවැටහුනත් එහි කියැවෙන්නාක්මෙන් මාගේ දෙමව්පියන්ගේ ඒ ඉතිහාසය මටත් සිදු වෙන්නට ගොසින් වැලැක්වුණේ අවසානයේ මට බිඳුණු හදවතකුත් වේදනාවකුත් සමඟින් උන්හිටි තැනුත් අහිමි කරවමිනි.

“ටක්...ටක්...”

“ටක්ටක්ටක් ටකක්...ටක්...”


මා නවාතැන් ගන්නා කාමරය පිහිටි ලෑලි පැල්පතේ හිමිකරු හතික් අසාර් දොරට තට්ටු කරමින්ද කුමක්දෝ කියමින්ද කරන කෝලහාලයෙන් අවුරුදු තුනක් එපිට සිට මම ප්‍රකෘතියට ආවේමි.

“මොකෝ!”

”මේ....පල ගොනෝ, පොලිසිය ගෙවල් චෙක් කොරනවා ආයිත් පලයල්ලා!!”


ඔහුගේ අනතුරු ඇඟවීම කණට වැකෙත්ම වැලේ වනා තිබුණු ඒකම සරමත් ඇදුම් ටිකත් බෑග් එකට දමාගෙන, දොර ඇරගෙන මාස් කුළිය ලෙස මා දුන් මුදලේ ඉතිරි මුදල ලෙස ඔහු අත තිබූ දෙසීයද රැගෙන ඉඟියක් කර පස්සා දොරින් පැනගෙන පොලිසිය හෝ කිසිවෙකු හෝ දකින්නට පෙර නාකපනා වැස්සේ දිව්වෙමි. මා වැඩ කරනා හෝටලයේම වේටරයෙකු ලෙසින් වැඩ කරනා ඔහුගේ නිවසෙන් ඈතට ඈතට දුව ගොසින් ගාළු පාරට අවතීර්ණ වුයෙමි. දවසක් දෙකක් යනතුරු එහි නැවත යාම අනතුරුදායකය. නමුත් මාගේ අතේ ඇත්තේ ඉතුරු දෙසීය පමණි. කොත්මලේ වෙසෙන මාගේ මාමාගේ නිවසට යාමට මුදලකුත් නැත. මේ රාත්‍රියේ හැදුනුම්පතකුත් ළඟ නැතිව එහි යාම තවත් අනතුරුදායකය.

"මන්ත්‍රිවරයෙකුගේ දියණියකට පෙම්කළ වැරද්දෙන් නොකළ වරදකට වන්දි ගෙවමින් ඉබාගාතේ යන ශරීරයක් හා මනසක් එක්ක ගාලුපාරේ පහන් කණුවක් යට හිඳ වට පිට බලන්නට වූයේ හිසට තාවකාලික වහලක් විය හැකි යමක් ඇතිදැයි සොයනු පිණිස ය. සවස වැඩ හැරී නිවෙස් බලායන යකඩ කරත්ත පෙළත්.., බැටරි බලයෙන් තප්පුලන හඬත් මට ඇති කලේ හිස රුදාවකි.

බීප් බීප්...!!!! ක්‍රාස්..!

මා සිටි පහන් කණුව පසු කර නැවැත්වූ රථයේ සිට බැස ආවේ කවුදැයි ඇස් කෙළින් වදිනා ලයිට් එළිය නිසා මඳ වේලාවක් යනතුරු හඳුණා ගැනීමට නොහැකි විය...!

" කෝ...? ගන්නවා බලන්න අයිඩෙන්ටිය..? "

අමුතු කතාවේ 4 කොටස ලිව්වේ
බිன்ku
http://binkulife.blogspot.com/


අමුතු කතාවක්. 3 කොටස

|
සමාවන්න මා පටන් ගත් කතාව දිගටම කීම පමාවීම ගැන. ජීවිතේ හැටි එහෙමය. කතාව ගලා යන්නේ අපට ඕනෑ හැටියට නොවේ. ජීවිතය දොළ පහරක් බඳුය. ඊළඟ මොහොත වංගුවක් සේම දිය ඇල්ලක්ද විය හැකිය.
සුජීව ප්‍රසන්න ආරච්චිගේ දුර්වල නව කතාවක වස්තුබීජය බඳු වංශවත් සිංහල යුවතියක් අතේ සතේ නැති දෙමළ කම්කරුවකු හා එක්වීම තුළ බිහිවූ කලල රූපය පස් හැවිරිදිව පිළේ වාඩිවී සිටියේය. පස් හැවිරිදි දරුවකුට තම විජිතයේ රජුද රැජනද දෙමාපියන්ය. දුර්වල නව කතාවක පිටු අතර මිස සැබෑ ජීවිතයේදී සාමාන්‍යයෙන් දකින්නට නොලැබෙන ආකාරයේ සිද්ධියකින් ඔහු කැළඹීමට පත්ව සිටියේය. කවුදෝ නාඳුනන පිරිසක විසින් එදින සවස කෙහෙවල්ලෙන් ඇද පහර දී තිබුනේ ඔහුගේ විජිතයේ රැජනටය. කොයිතරම් කුරිරු වුවද මිනිස්සු සාමාන්‍යයෙන් මිනිසකුගේ වැරදි නිසා ඔහුගේ බිරියට පහර දෙන පහත් තත්ත්වයට නොවැටෙති. එසේම වංශවත් කුල පරම්පරාවකින් පැවත ආ අම්මා පිට මිනිහෙකුගෙන් නිසොල්මනේ පහර කා දරා ගන්නා ජාතියේ ගැහැණියක නොවූවාය. මේ දුප්පත් පියා සමඟ එක් පන්තියක සිට තවත් පන්තියකට, එක් ජාතියක සිට තවත් ජාතියකට මාරු වන්නට තරම් නිර්භීත වූ මේ ගැහැණිය මේ තරම් සරල ලෙස පිට මිනිහෙකුගෙන් ගුටි කා නිහඬ වූයේ ඇයි?
මේ සිද්ධිය ඇත්තටම සිදුවීද නැත්ද යන්න මම අදත් කල්පනා කරමි. පස් හැවිරිදි දරුවකුගේ මතකය දුඹුල්ය. සැබැවින්ම සිදුනොවූ දේද සිදුවුනු ලෙසින් මතකයට එක්වීම නොවැළකිය හැකිය. මේ අපැහැදිළි සිද්ධිය පසුව මට අත්විඳින්නට සිදුවූ සිද්ධිදාමයක ප්‍රතිඵලයක් සේ මගේ මනසට රිංගා නොගත්තා නොවිය හැකිද?

මේ සිද්ධිය හිතළුවක් වෙතත් නැතත් ඊට සම්බන්ධ තවත් රූපරාමු දෙකක් මගේ මනසේ තැන්පත්ව ඇත්තේය. මේවා මනසට පිවිසියේ පස් හැවිරිදි වියේද නැද්ද යන්න මම නොදනිමි.

කතාවක් නැතිව නිසොල්මනේ බූරු ඇඳ මත හිඳගෙන ප්ලේන්ටී කෝප්පය තොළගාන අප්පා!

අවුල් වූ කෙහෙරැළින් යුතුව නැවී ලිපට පිඹිමින් රොටී හදන අම්මා!

හවස අදාළ සිද්ධිය සැබැවින්ම සිදුවී නම් අප්පාගේත් අම්මාගේත් මේ නිවුනු හැසිරීම අපේක්ෂා කළ හැකිද?

"දීපං ඔය මන්න පිහිය මෙහාට. මං ගිහින් උඹට අත තියපු වලත්ත බල්ලගෙ බොකු බඩ වැල් එළියට ඇදලා එන්ඩ!" අප්පා නොකියන්නේ ඇයි? මිනිසකුට මෙතරම් නෝන්ජල් විය හැකිද? ජීවිත කාලයක් තිස්සේ අනුන්ට බැල මෙහෙවරකම් කළා වුනත් අප්පාට ආත්ම ගෞරවයක් කියා දෙයක් ඇත්තේම නැද්ද? පැත්තක ඉන්නා මිනිසකු තමන් ගෙදර නැති අවස්ථාවේ පැමිණ භාර්යාවට පහරදී යෑම ඉවසන පිරිමියකුත් වෙත්ද?

"මදෑ මං මිනිහෙක් එක්ක ආව. ඌ මිනිහෙක් නෙවෙයි පඹයෙක්. මට උං ඇවිත් තඩිබාල ගියාට උඹට කරන්න දෙයක් ඇත්තේම නැද්ද යෝදයෝ?" යි අම්මා නො අසන්නේ ඇයි? මේසා බැරෑරුම් සිද්ධියක් මෙත් සිතින් දරා ගනිමින් රොටී පිළියෙළ කරන්නට ලෙයින් මසින් හැදුණු ගැහැණියකට හැකිද?

මේ සිද්ධිය මට පසු කලෙක අසන්නට ලැබුණු සත්‍යය විය හෝ නොවිය හැකි කාරණා සමඟ කෙසේනම් ගැළපිය හැක්කේද?

"ඒයි මට උඹට කතාවක් කියන්න තියෙනවා!" අට හැවිරිදි වියේදී පමණ මට කීවේ ලයනල්ය. මට පන්ති දෙකකට ඉහළින් සිටි ලයනල් මේ අවදියේදී මගේ එකම සගයාය. පාසැලේ හැම දෙනකුගෙන්ම කොන්ව, එකදු මිතුරකු හෝ අහිමිව සිටි මට සමීප වීමට තරම් නිර්භීත වූයේ ලයනල් පමණි. එය පුදුමයක්ද නොවේ. මීනීමැරුම් නඩුවකින් වරදකරු වූ ලයනල්ගේ පියා සිටියේ දීර්ඝකාලීන සිර දඬුවමක් ගෙවමිනි. දෙතොල් රතු කරගෙන හවස් කාලයේ ලේක් හවුසිය අසළ ගැවසුණු ලයනල්ගේ අම්මා ඉඳ හිටෙක ඇය අසළ නතර කරන රථයකට ගොඩ නඟිනු දුටු අය සිටියහ. මට සේම ලයනල්ටද නැතිවන්නට දෙයක් තිබුණේ නැත. අපි එක අත්තක වැසූ කුරුල්ලන් වීමු.

"උඹලගේ තාත්ත උඹලගෙ තාත්ත නෙවෙයි."

"මොකක්?"

"උඹට මේව කියන එක හරිද මන්දා. උඹලගෙ අම්මව බඩ කරල තියෙන්න කැම්පස් එකේ හිටපු කාලෙ බැච් එකේ කොල්ලෙක්ලු. පස්සේ ඌ මඟ ඇරියලු. උඹව නැති කරන්න හැදුවලු අම්මගේ අප්පච්චිලා. ඒක වලක්ව ගන්න තමයි උඹලගේ අම්මා පොඩිකාලෙ ඉඳන් දැනං හිටපු උඹලගෙ අප්පත් එක්ක පැනලා ඇවිත් තියෙන්න මහ රෑක."

අට ඇවිරිදි දරුවකු භ්‍රාන්තියට පත් කරන සුළු මේ කතාව මගේ චිත්ත සන්තානයේ වෙනසක් ඇති නොකරයි. දරුවකුට වුව දරාගත හැකි දේ සීමාවක් ඇත. පමණ ඉක්මවා බිය වැද්දූ කළ, කෙනෙකුගේ සිතින් බිය පහව යයි. පමණ ඉක්මවා අවමන් කළ තැන කෙනකු අවමන් නොසළකා හරින්නට පුරුදු වේ. වසර ගණනක අප්‍රසන්න සිදුවීම් දාමයක් මා රොබෝ පැටියකු බවට පත් කර ඇත්තේය. මා අසන කිසිවක් තව දුරටත් මා විස්මයට පත් නොකරයි.

"උඹට කීවෙ කවුද?" මා අසන්නේ එපමණකි.

"උඹට ඕනැ නෑනෙ ඒවා!"

අම්මා විශ්ව විද්‍යාලයකට ගියා යැයි මා කවදාවත් අසා නැත. ඈ කිසිදිනෙක ඒ බවක් නොකීවාය. නමුත් යාන්තම් අකුරු ගැටගසා දිනපතා පුවත්පත් කියවන්නට තරම් උගත් වූ අප්පාට සාපේක්ෂව ඈ ලෝකය පිළිබඳව දැනුමැත්තියක වූවාය.

අපේ පුංචි පැළට නිරන්තරයෙන් පැණ එන ගෙම්බකු දකින අම්මා මට උන් ගැන බොහෝ දේ කියා දෙයි. ගෙම්බා දිය ගොඩ දෙකෙහිම වසන සතකු බවද, වැඩිපුර දියෙහි වසන ගෙම්බන් හඳුන්වනු ලබන්නේ මැඬියන් ලෙසින් බවද ඇය කියයි. දිනෙක මැරී සිටින ගෙම්බකු දුටු අම්මා පිහියෙන් උගේ බඩ පළා සිරුර තුළ අවයව මට පෙන්වූවාය. කුඩා දරුවකුට ඉන් උගත හැකි දෙයක් ඇත්ද මම නොදනිමි.

"ඒයි, උඹ දන්නවද? උඹලගෙ අම්මා ඉගෙන ගත්තෙ දොස්තර නෝන කෙනෙක් වෙන්නලු" මේ කතාවද මට කීවේ ලයනල්ය.

මම ඊට සිනාවෙමි. මගේ අම්මා දොස්තර කෙනෙක්? මට එය සිතා ගන්නට වත් නොහැකිය.

මම සියල්ල අමතක කොට වර්තමානයට එමි. කඨෝර හඬකින් ගී ගයන්නේ අල්ලපු කඩේ රේඩියෝ එකය.

"ආදර හැඟුම්.....
ආදර හැඟුම්......
ආ....දර...... හැඟුම්......."

අමුතු කතාවේ 3 කොටස ලිව්වේ
Taboo