Monday, August 9, 2010

අමුතුකතාවක් 17 කොටස

"මට මේ ඔය ළමයව දැක පුරුද්දක් දැනුණ නිසා මම මේ බලාන උන්නෙ... ඔය ළමය කොහෙද හැබෑටම..."

පුරුද්ද. සංසාරය පුරාවටම සියළු දුක්ඛ දෝමනස්සයන්ද සුඛ විහරණයන්ද කැටුව එන සබැඳියාවන් තනන්නේ මේ පුරුද්දය. දෙනෝදාහක් අතරින් තම දිවිය හා ගැටී පැටලී යන්නටවුන් සොයා දෙන්නේ මේ පුරුද්දය. අම්මාට සියළු සැප අතැර දමා මුඩුක්කුවක මැරෙන්නට වූයේද, අප්පාට එක් ජූලි මාසයක කුණුකානුවකදී දිවිය අතහරින්නට වූයේද, රදාවඩුගෙදර රංජිත්ට අවසන් වතාවට තම ඇස්මානයෙන් තඩි රෝද දෙකක් දකිමින් මියෙන්නට වූයේද, සංසාර පුරුද්දෙන් දැණුන උන් වෙනුවෙනි, උන් හේතුවෙනි. දේශයේ බලවත්ම මන්ත්‍රීවරයකුගේ දඩබල්ලන් නගරය පීරමින් මා සොයද්දී ස්නේහයෙන් ගැහෙන හදවතින් ඒ නගරයේම ඔහුගේ දියණිය එනතෙක් මඟ බලා සිටින්නේ පුරුද්දෙනි. සංසාරය පුරා බලා සිටි පුරුද්දෙනි.

නිහැඬියාව. සිතිවිලි කෑ ගසද්දී මුව නිහඬය. ඉඳින් කවුරුන් විසින් හෝ මේ නිහැඬියාව බිඳ දැමිය යුතුය.

“ඔය ළමය රත්නපුරේ පැත්තෙද?”

මම නැතැයි කීමට හිස සැලුවෙමි. එපණක් නොව මා ඇය නොදන්නා වගද පැවසීමට මට ඇවැසි විය. ඇය මට පුරුදුනැති බව කීමට මට ඇවැසි විය. මෙලොව ඇත්තේ මට පුරුදු මා දන්නා දෙදෙනෙකු පමණක් බවත් සිය දිවිය පවා නොතකමින් මේ බලා ඉන්නේ ඉන් එකෙකු දැකීමට බවත් ඇයට පැවසීමට මට ඇවැසි විය. නමුත් ඒ බැව් පැවසීමට තිබූ උවමනාව තරම්ම යමෙකු හා දොඩමළු වීමට තිබූ අකමැත්ත බලවත් වූ හෙයින් මම හිස පමණක් සැලීමි. අනතුරුව යලි මඟ වෙත නෙතු යෙමු කළෙමි.

ඉවසීම. බුදුන් පාරමිතාවක්ව පිරීමට උපදෙස් දුන් ඉවසීම. මගේ මව හා පියාට සිය යොවුන් මදයෙන් මත්ව ගිය මොහොතකදී නැතිව ගිය, ඒ වෙනුවෙන් අප්පාට මහමෙරක්ව දරන්නට සිදුවූ ඉවසීම. කලකට පසු ඊයේ දුටු රුව කොයි මොහොතේ හෝ සෙනඟ අතරින් නැගවිත් කලබලයෙන් මා හා දෑත් වෙලා ගන්නා තෙක් දරාගත නොහෙන තරමට නැතිව ගොස් ඇති ඉවසීම.

අපට පමණක් නොව ඇයටද ඉවසීම යනු පිරීමට අපහසු පාරමිතාවක්ම වූ සේය. සෙනඟ මඳක් අඩුවෙමින් තිබූ අවස්ථාවක් හෙයින් සිය අදහස් නිදහස් කිරීමට ඇයට අපහසුවක් නොවිණි.

“ මේ ඉලංදාරිය, මාත් මේ ගෙන්දගං පොළොවෙ නූපන්නට මේකෙ පයගහල දැන් අවුරුදු පාලොහක් වෙනව. මං කථා කලේ උඹේ ඉන ඉහ අතගාගන්න නෙවෙයි. මට උඹව හොඳට දැකල පුරුදුයි. ඒ නිසයි මනුස්සකමට කථා කලේ. කටේ පිට්ටු හිරවෙලාද වචනයක් එලියට දාන්නෙ නැත්තෙ?”

පිට්ටු. අම්මා පාන්පිටි ටිකක් වතුර හා අතගා අප්පාගේ පරණ බැනියමක් මුට්ටියක කරබැඳ තැනූ වණ්ඩුවක තම්බා සයියාගේ කඩයට දැමූ පිට්ටු. යහනක් තිබියදී රෑ එළිය වැටෙනතුරුත් ඈ තුරුල්කරගෙන ස්විස් හෝටලයේ බැල්කනියකට වී හිඳීමට තරම් හිතුවක්කාර වූ දිනක, මගේ අම්මා බැටකෑ ගිනිපෙනෙල්ලට බියෙන්, ඇයව කණාමැදිරියන්ගෙන් රැකගත් බරින් අප පීඩිතව හිඳියදී තමී හා මා පාතරාසයට බෙදාගත් පිට්ටු.

නැත. මගේ කටේ පිට්ටු නම් හිරවෙන්නේම නැත. නමුත් මේ නාඳුනන ගැහැණිය හා කුමක් කථා කරන්නද?

“ මං ඔය අම්මව මීට කලින් දැකල නැහැනෙ. අනික මං රත්නපුරේ නෙවෙයි”

“ ඒත් මට හොඳ මතකයක් තියෙනවනෙ දරුවො. නෑදෑයො එහෙම ඉන්නවද ඒ පැත්තෙ ?”

“නැහැ”

ඇය තවත් ලංව මා මුහුණ විමසුවාය. මගේ මුහුණතුල සැඟවගිය කුමක් හෝ දෙයක් ඇයට පිහිටවෙතැයි බලාපොරොත්තුවෙන් මෙන් මා දෙසම බලා සිටියාය.

අම්මා. මට අම්මා සිහිවිණි. ඇයද මෙබන්දක් පුරුදුව සිටියාය. දුර සිට සිනාසී මදෙස බලා හිඳිනා ඇය මහත් ස්නේහයෙන් මවෙත එන්නීය. අනතුරුව මා ලඟට ගෙන මුළු මුහුණම කියවන්නට මෙන් මදෙස බලා සිටින්නීය. සිය දෙනෙත් තුල මහා සතුටක්ද වේදනාවක්ද සමාන පරිමාවකින් දරාගෙන මදෙස බලා හිඳ එකවනම දැඩිව තුරුල්කොට ගන්නීය. අනතුරුව අතොරක් නැතිව මා සිඹින්නීය.

ඒ මතකය සිතේ අහුමුලු හාරමින් හිඳිද්දී ගැහැණිය මඳහසක් නැගුවාය. අනතුරුව,

“ඒ මූණුවරමයි.......”

වැහි නැති කොළඹ අහස ගුගුරවමින් මිමිණුවාය.

අමුතු කතාවේ 17කොටස ලිව්වේ
ඇට මැස්සා
http://skydreams2010.blogspot.com

3 comments:

  1. 18 කොටස ලියන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ බව කොමෙන්ටුවකින් දමා යන්න..!
    ජය..!

    ReplyDelete
  2. 18 ලියන්න කවුරුත් නැත්තන් ඔන්න මම භාර ගන්නවා. හැබැයි සති 2ක් 3ක් ඕනෙ.

    ReplyDelete
  3. ඔන්න යන්තම් කියවල ඉවර වුනේ දැන්... සමූහ කතාවක් නේද... නියමයි.

    ReplyDelete