Thursday, October 1, 2009

අමුතු කතාවක්. 1 කොටස

"හිතට ආපු දේත් එක්ක සමකරන්න වටපිටාවෙන් උදාහරණ හොයාගන්න බැරි තරමට වටපිටාවේ උදාහරණ පිරිලා. මම මේ කියන්නට යන්නේ මහාලොකු සමාජ විද්‍යාවක් නෙවෙයි. නමුත් මගේ කතාව ඇතුලේ සම්බන්ධවෙලා ඉන්න ඉදිරියට සම්බන්ධ වෙන ජීවිත ගැන කියන්නට වෙන පරිකතා ප්‍රමාණය මත තමා මගේ ජීවිතය මරණයකින් කෙළවර වෙනවද.., එයට තව දශක කිහිපයක් හුස්ම ගන්න අවසර දෙනවද කියන එක තීරණය වෙන්නේ.."

මම දිනපොතේ අද දිනයට වෙන්වී ඇති කොටසේ අවසන් තීරුව තෙක්ම ලියා අවසන් කළෙමි. තව හෝරා කිහිපය කින් මා ජීවිතයට මුහුණ දෙන්නට වෙන ඒ අත් දැකීම් සමූහය පිළිබඳ මා තුළ ඇත්තේ අවිනිශ්චිත බියක් නොව උමතු අහ්ලාදයකි. හැමදේම මුළාවකි, මායාවකි. වෙනස නම් අපි යථාර්තය ලෙස මුහුණ දෙන හැම අත්දැකීමක් ම අපව තව තවත් මේ මුළාව නම් ගොහොරුවේ පතුළට ම කිඳා බැස්සවීම ය. මම අනුරාධ නදියවන් වෙමි. සිංහල මවකටත් දමිළ පියෙකුටත් දාව පිළිසිඳුනු මට වැල්ලවත්තේදී වින්නඹුවක් විසින් උප්පත්තිය ලබාදී තිබිණි. පියා දෙමලෙකු වූ පාපය කරණකොට ගෙන මාගේ මව ඇයගේ වලව් පරම්පරාවෙන් පිටමං කර තිබිණි. ඒ ඈගේ පෙම වතු කම්කරුවෙකුට පුද කළ වරදට ය. කාසිකාර දෙමවුපියන්ට දාව රත්තරං හැන්දක් මුවතබා ගෙන මේ ලොව එළිය දකින්නට තිබූ වරම මට අහිමිවිය. ඒ මම දෙජාතියක මුහුන් උප්පත්තියක් වීම නිසාය. මගේ සීයාගේ නොහොත් වළවුවේ හාමු ගේ දුව හා පෙමින් බැඳීමේ වරදට වන්දි ගෙවන්නට වූයේ මා පියා වූ නදියවන්ගේ මාපියන් ට ය. ඔවුන් සමාජය ඉදිරියේ පවුකාරයන් වන්නට විය. අසූව දශකයේ අග භාගයේ එක මූසළ රාත්‍රියක නන්නාඳුනන පිරිසකගේ ප්‍රහාරයට හසුව ටයර් සෑයක් මත දැවෙන්නට වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

1990 මගේ ජීවිතය තැනින් තැනට විතැන් වීමට පටන් ගත් වසරයි. ජීවිතය තුල කාලාන්තරයක් රස්තියාදු ගැසූ මම අවසන නතර වන්නට වූයේ තව හෝරා කිහිපයකින් මාවෙත එන මරණය ඉදිරියේයි.

මේ ඔබ කියවන්නේ මගේ ජීවිත කතාවයි.

ලෙඩකට බෙහෙත් බොනවා නම් එය ලෙඩේ නිට්ටාවට සනීප කරන බෙහෙතක් විය යුතුය. එය ජීවිතය සම්බන්ධයෙන් මොනතරම් වළංගුදැයි කියන්නට මම නොදනිමි. පැය මිනිත්තු හරණය වී ආපස්සට දිව යන විරාම ඝටිකාවක් සේ අසුරු සැනින් මගේ සිත අතීතයට දිව යයි.

.........................

මා අවදි වූයේ අම්මාගේ තුරුළේ සිටය. ඒ ඇයගේ හිස පිරිමැදීමකින් නොව පිටස්තරයෙකුගේ කෑ ගැසීමකට ය. මහ හඬින් දෙපලු වී ඇඳ අසල ට වැටුණු දොර පළුව උඩ සිට ගත්, දොර කඩා ඇතුළට ආ නඩයෙන් එකෙක් අම්මාගේ කෙස් වරළෙන් අල්ලා මෙසේ ඇසීය.

"කෝ යකෝ රාජා....?"

සෙල්වරාජා නදියවන් යනු මගේ පියා බව එවකට 5 වැනි වියේ පසුවූ මාගේ මතකයේ තිබිණි.

"කැරි බල්ලා අපේ කඩවල් වල වැඩ කරලා, තියෙන හයිරං පාට් දාලා, ආවා අපිව මට්ටු කරන්න. කෝ ඕකා..? කෝ වේසියේ තොගේ මිනිහා...? කියපිය.., නැත්තං මෙතනම තිට කෙළවල යනවා...!"

ඒ වන විටත් අපේ පැල දෙපස මේ නෙයියාඩගම ඇසී මුඩුක්කුව දෙපස අය රොක්වී සිටියහ. ඇයගේ කෙස්වැටියෙන් අල්ලාගෙන අසන්නට බැරි තරම් අපුල වදන් වලින් කැනහිලුන් සේ කෑ මොර දෙද්දී අම්මා කලේ නිහඬව පරඬැලක් සේ ඉකිබිඳීමයි. ඒ වන විට පස්වියැති වූ මගේ සිතේ වඩාත් පැළපදියම් වූ ගැටලුව වූයේ, තම වංශවත් පරම්පරාව අතහැර දමිල කම්කරු පුතෙකු හා පැමිණි මේ ගැහැණිය, ඉන් දස වසක් ඉක්ම යන්නටත් මත්තෙන් තම වරිගයේම උන් ගෙන් තම සැමියා ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙනෝදාහක් මධ්‍යයේ නින්දාපහාස විඳින්නට තරම් අවාසනාවන්ත වූයේ ඇයි යන්නයි.

අප්පා එන විට රෑබෝවී තිබිණි. රාත්‍රී නවය දහය වන විට මා කුසගිණි වන බව දන්නා අම්මා සිටියේ කබල මත රොටියක් තවමිනි. ඒ වන විටත් වටින් පිටින් අද සවස වූ සිද්ධිය ආරංචි වී සිටි අප්පා සිටියේ කම්පිතව ය.


අමුතු කතාවේ 1 කොටස ලිව්වේ
Lishan Puwakowita

8 comments:

  1. අමුතු කතාව ඇරඹීම වෙනුවෙන් ලිශාන් අයියට ස්තූති වන්ත වෙමි.
    තවත් අපූරු චරිතයක බිහිවීම (අනුරාධ නදියවන්) සහ ඔහුගේ හැල හැප්පීම් මැදින් ගලා යන තවමත් නොරචිත ජීවිත කතාවක අපූර්වත්වය විඳ ගැනීමට මා පුල පුලා බලා සිටිමි.
    හැකිකමක් ලැබුනහොත් 'අනුරාධ නදියවන්' ජීවිත ගංගාව ගාලාගිය ගල් පරයක් සලකුනු කිරීමටද කැමැත්තෙමි..

    නොදරුවාට නැවතත් ස්තූතියි...

    ReplyDelete
  2. දෙවැනි කොටස සඳුදා බලාපොරොත්තු වන්න...

    ReplyDelete
  3. @ Prabhath Darshana > Thanks මචන්

    එහෙනම් 2 කොටස අංජන ලියනවා.
    ජය.

    ReplyDelete
  4. හරීම සතුටුයි ඔහොම යං ඔහොම යං...!

    ReplyDelete
  5. Niyamai, wade hondin kerenawa wage! sathutuyi sathutuyi! :) onna balapalla math enawa langadima! :)

    ReplyDelete
  6. මමත් කැමතියි කොටසක් ලියන්න, කීවෙනි කොටසද කියල නොදරුවා මට කියනවද?

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්... මං ඔන්න පලවෙනි කොටස කියෙව්වා!!! හෙට අනිත් කොටස් 14ම කිය්වනවා... මේක කවුරු කියනවද මට තේරෙන්නේ නෑ.. හ්ම්ම්ම්.. ඒත් එක ජීවිතයකට පන දෙන්න ගොඩක් අයගෙ හිත් එකතු වෙලා කියලා නං තේරෙනවා..

    ReplyDelete