Sunday, December 27, 2009

අමුතු කතාවක්. 6 කොටස

ආයෙමත් මට සමාවෙන්න.. අහම්බෙන් දැක්ක රුවක් ගැන කියල ඉසිඹුවක් නොලබාම මම මගේ හිත එක්ක ගණුදෙනුවක ට ඔබව අල්ල ගත්තා ට..,

මේ කතාව එකම අංශයක ට ගොණුවෙලා ගලාගෙන යනවා. ඒක දරන්නට අමාරු විත්තියත් මම දන්නවා.

ඒත් මගේ කථාව ඔබව පටලනවා නම්.. මකුණු දැලකට අහුවුනු පොඩි මෙරුවෙක් වගේ පැටළුනු මගේ ජිවිතේ ඇතුලේ ඔබ පිළිවෙල කථාවක් බලාපොරොත්තු වෙනවා නම්.. ඒක තමයි මේ ලො‍කේ අසාධාරණම දේ.. සාධාරණය කියන දේ බලාපොරොත්තු වෙන්න තියා ඒ වගේ වචනෙක තේරුමවත් නොදැන ජිවත් ‍වුනු මං වගේ අහිකුණ්ඨක ජිවිතේක ඔබ පිළිවලක් බලාපොරොත්තු වෙන්නත් එපා..

මොකද මේ ගලන්නේ…., මගේ ජීවිතය නිසා….!

මතක ඇති දවස් වල ඉදං වැල්ලවත්තේ මුඩුක්කු අස්සේ.. වැස්ස නැතත් පල්වෙන කාණුවල ගඳ උතුරලා යන පොදු වැසිකිලි ගඳ.. දාඩිය ගඳට.. හවස් වෙද්දි එකතුවෙන කසිප්පු ගඳවල්.. කුණුහරුප බයිලා වලින් ඔළුව කොඩැරි වෙන්න ගත්තම... අම්මාගේ උකුල විතරක් සුවඳක් වෙලා සැපයක් උනු මට..අද මේ අඳුරු කාමරේ ඇතුලේ විටින් විට පෙනෙන අළුගෝසු මුණු.. ලේ ගඳ හැමදේමත් එක්ක.. අහම්බෙන් හමු උනු හිස් එක්සයිස් පොතක සාක්කුවේ ඉතිරි වෙලා තිබ්බ එකම එක නිල් පෑනෙන් පිළිවෙල කතන්දරයක් ලියන්න කියලද කියන්නේ? ඔබට රසවිඳින්න?

මම දන්න මගේ අප්පා නදියවන්.. සෙල්වරාජා නදියවන්.. දෙමළෙක්...!

අම්මා ස්වර්ණා මැණික් බණ්ඩාර දෙමළ වැඩකාරයෙක්ට ආදරේ කරපු වැරැද්දට පිටුවහල් වුනු නම්බුකාර උඩරට වලව්වක කුමාරිහාමි කෙනෙක්.. ඔබත් මමත් දැනටමත් දන්න මගේ අතීතය එහෙමයි..

ඒත් තව එකෙකුට අනුව මම තාත්තා කවුද නොදන්න අවජාතක‍යෙක්..! ඒ මට කවදාවත් දැනගන්න නොලැබුනු මගේ අඳුරු හෙවනැල්ලේ සැබෑ කථාව වෙන්න පුළුවන්.. ඒත් දැනට.. මේ ගෙවෙන හැම අවිනිශ්චිත මොහොතකම ඒ නොදන්න අඳුරු කථාව මා වටා කැරකෙවෙනවා වගේයි මට දැනෙන්නේ..

මේ හැමදේම ආයෙමත් නතර වෙලා ගඳ ගහන මුඩුක්කු පේළියේ අම්මාගේ මතක සුවඳ ඉහිරුණු අප්පාගේ නිහඬ බව පිරුණු ගෙදරට ආයෙමත් යන්න තියනවා නම් ඒත් මගේ ජිවිතේ ‍ඒ තරම්ම සරළ නැති බව මට අමතක නෑ... මෙතනින් එහාට අනාගතයක් ගැන හීන දකිනවට වඩා ගෙවුනු අතීතේ මට මොකද උනේ කියන එක හිතනවා ඇරෙන්න වෙන යමක් මට කරන්න බැරි වෙයි.. අනාගතේට මම බයයි..

ඔබට මතක ඇති දවසක් අප්පා‍ව හොයාගෙන අපේ ‍ගෙදරට ආව මිනිස්සුන්ව... ඒ මිනිස්සු ආව අන්තිම වතාව ඒක නෙවෙයි... එයින් පස්සේ තව වතාවන් බොහෝමයකදි අම්මාගේ නිහඩතාවය ඉස්සරහා සිංහ නාද කරපු උන් යන්න ගියේ අප්පා වෙනුවට අම්මාව කටගැස්මට අරගෙන. ඒ සියල්ල දරාගෙන ඇය නිහඬව සිටි හැටි මට මේ දැනුත් මගේ ඇස් ඉස්සරහා මැවිලා පේනවා වගේ..

තමන්ගේ ජිවිතේ සදළුතලාවෙන් දුහුවිලි පොළවට වැටුනු අම්මා.. මගේ දෑස් ඉදිරිපිටදී රජයේ රෝහල් වාට්ටුවක ‍ඇඳක අවසන් හුස්ම හෙලපු මොහොත මට මේ දැන් වගේ මතක් වෙනවා.. ඒ සුදුමැලි වුනු ජිවය ටිකෙන් ටික මැකිලා ගිය ඇස් දෙකෙන් මට කියන්න හැදුව ඒත් ඇයට කියා ගන්න බැරි වුනු ඒ කථාව ගැන ඒ වෙලාවේ මට යාන්තමින් වත් මතක් උනේ නැහැ. එහෙම මතක් උනා නම්

“අම්මා නිදාගන්න... දැන් මහන්සි වෙන්න එපා”කියලා මම නොකියන්න ඉඩ තිබුනා.. ඇත්තෙන්ම ඒ නින්ද ඈ නිදන අවසන් නින්ද කියලාවත් මට තේරුමක් තිබුනේ නැහැ ඒ වෙලාවේ.. ඇයත් එක්ක ඇය මෙලොවෙන් අරගෙන ගියේ මට හිටි එකම හව්හරන විතරක් නෙවෙයි. මගේ ජිවිතේ නොකියවුනු කථාවකුත් ඒත් එක්කම නිහඞ උනා

ඉස්පිරිතාලයෙන් කෙලින්ම කනත්තේ කෙළවරක සදාකාලයට මිහිදන් වූ ඇය, මාත් අප්පාත් අතර තිබුනු බැදීමත් ලිහලා දාලාගියා ‍වගේ.. ඇගේ මරණෙන් පස්සේ මම අප්පාව දැක්කා නම් දැක්කේ සතියකට හෝ දෙකකට වතාවක් විතරයි.. ඒ වෙලාවල් වලදි වත් කථා කරන්න පුළුවන් තරමේ සිහියක කවදාවත් අප්පා හිටියේ නෑ...ඒ මළානික ඇස් වල තිබුනේ “තෝ තමයි සේරටම මුල... තෝ මගේ ජිවිතේ විනාස කලා” කියනවා වගේ නොකියා කියන වදියේ බැල්මක්. සමහර විට අප්පා මට සැලකුවේ ආගන්තුකයෙකුටත් වඩා ඇහැටවත් නොපෙනන සතෙකුට වගේ. අවුරුදු පහලොවකට ආසන්න කාලයක් එක වහලයක් යට ජිවත් උනු අපි දෙන්නා බොහොම ටික කාලෙකින් අනිත් කෙනා ඉන්නවාද නැද්ද කියලවත් නොදන්න තත්වෙට පත්වෙන කොට අප්පයි අම්මයි ගැන ලයනල් කලින් විටින් විට මට කියලා තිබුනු සේරම දේවල් සාක්කි නැතුවම ‍ඔප්පු වෙනවා වගෙයි මට දැනුනේ.

අම්මා සැමදාම මගේ ඔළුව අතගාලා කියපු

“හොඳට ඉගනගනින් මගේ පුතේ’’

කියන වචන වචන කවදාවත් මට අමතක වෙලා ගියේ නෑ... පාඩමකට තියා හරියට හුස්මක් අරන් අත පය දිගඇරලා ජිවත් වෙන්නවත් බැරි විදියේ පරිසර‍යක හිටපු අපිට ඉගනුම කියන්නේ ඉහලට යන්න පුළුවන් එකම මාර්ගය කියලයි අම්මා හැම වෙලාවෙම කිව්වේ.. ඒකයි යාන්තං හයහතර තේරෙන වයසෙදි ඉදම්ම මට අම්මා පුළුවන් හැම වෙලේ‍ම මොනා හරි කියලා දෙන්න උත්සහ කලේ... පාන් බාගේ සීනි කාල ඔතාගෙන එන පත්තර පිටුවවත් නොකියවා විසි නොකර මාත් එක්ක අකුරු අමුන අමුන කියවන්න අම්මා ඒවා හෝඩි පොත් කරගත්තා..කොටින්ම මට අකුරු වලට ආදරය කරන්නට ඉගැන්නුවේ අම්මා.. පොත් ගන්න සල්ලි නැති වුනත් මහජන පුස්තකාලේ ළමා අංශයේ පටන් කල් යත්ම සියළුම අංශ වල විවිධ මාතෘකා ඔස්සේ කියවන්න හිතන්න.. මවන්න මට හුරු කලේ අම්මා. ඒ හින්දම පොතක් අතේ නැතුව ඉන්න එක අම්මා මට හුරු කරේ මටත් නොතේරන තරම් විදියට...

“ මගේ පුතා පොතක් පතක් බලා ගන්න මට පුළුවන් අනිත් වැඩ කරගන්න”

කියමින් තනිවම නිවසේ වැඩ දරාගන්න ඇය හුරු වුනා...ඇය මේ සියල්ල කරන හැම වෙලාවකම අප්පා කලේ හිස් ඇස් වලින් බලං ඉන්නයි.. ගෙදරට යමක් හම්බ කරපු එකයි විතරයි.. කොහොම උනත් අම්මාගේ මරණෙන් පස්සේ ආ‍යාලේ යන්න ගිය ජිවිතය අමාරුවෙන් උනත් එක තැන් කරගෙන සාමාන්‍ය පෙළ විභාගේ කොහොම හරි කරගන්න මට උදව් උනේ ලයනල්.. මගේ පොඩි කාලේ ඉදන් මට හිටිය එකම යාළුවා.

ජිවිතේ අසීරුම වෙලාවල් වල ලයනල් මගේ ලග හිටියේ යාළුවෙකුටත් වඩා මගේ සහෝදරයෙක් වගේ..ඊටත් වඩා මගේම අප්පා කෙනෙක් වගේ සැමදා මා අසල සිටියේ මිතුරෙකුටත් වඩා

“උඹ අපි වගේ නෙවෙයි නේ.. කොහොමත් වැඩකාරයා.. ඔන්න ඔහේ ඔය ටිකත් ‍ඉස්කෝලේ පලයං.. මොකෝ ස්වර්ණා නැන්දා උනත් ‍ඌඹව හැදුවේ අපි වගේ බජාර් එකේ රස්ති ගහන්න නෙවෙයි නේ”

“ඒත් බං.. ඉගන ගන්න එක සෙල්ලමක් ද.. උඹට මොනා හංගන්නද.. ඉගනගන්න තියා මට දැන් කන්න වත් අප්පා ගෙන් සල්ලි හම්බ වෙන්නේ නැහැ බං.’’

“අප්පා නැතුවට මං ඉන්නේ...” ලයනල් මගේ වියදම් තමන්ගේ කරට ගත්තේ එහෙම කියන ගමන්..

එත් සාමාන්‍ය පෙල විභාගෙන් පස්සේ මට තව දුරටත් ලයනල් මත්තේ යැපෙන්න පුළුවන් උනේ නෑ... මට ඕ‍න උනේ හැමදාම ජිවත් උනු මඩ ගොහොරුවෙන් දශමයක් හෝ ‍ඈත්වෙලා යන්න... හැමවෙලේම අළුත් වෙවී සැමදාම වේදනා දෙන අම්මාගේ මතක පිරිනු ජිවිතෙන් ඈත් වෙලා යන්න...

රස්සාවක් හොයා ගන්නව මිසක් වෙන කිසිම මාර්ගයක් තිබුනේ නෑ මගේ ජිවිතේ වෙනස් කරගන්න. ඒත් ඒ වෙනකොට විභාග ප්‍රතිඵල ඇවිත් තිබුනෙත් නැති නිසා රස්සාවල් හොයන්න ලේසි නැහැ.. ගාමන්ට් වලට “නදියවන්” කියන මගේ දෙමළ නම ප්‍රශ්ණයක් උනා.. සයිවර් කඩ වලට සිංහල ක්‍රම‍යට හුරු වෙච්ච කථා විලාසෙත් එකක් “අනුරාධ’’ නම ප්‍රශ්ණයක් උනා.. එහෙමත් තැනක යමක් කමක් හරි යාගෙන එද්දි ‍මගේ අවාසනාවද මන්දා කොළඹ කොහේ හරි බෝම්බයක් පිපිරුණා.. අළුත් තැන් වල මිනිස්සු එහෙම වෙලාවලදි මගේ දිහා බැලුවේ තව බෝම්බයක් දිහා බලනවා ව‍ගේ.. දවසක් වැඩ කරපු කඩේ මුදලාලි බලලා නතර කරලා ගිය පත්තරේක තිබුනු නුවර ගුණසේන එකේ අබෑර්තුව දැක්කේ.. මම හැමදාම ආස කරපු ආදරේ කරපු පොත් අතරට යන්න තිබ්බ නොඉවසිල්ලත් එක්කම යටිහිතේ හැංගිලා තිබ්බ ස්වර්ණා මැණික් ගේ අතීත නටඹුන් හොයන්න තිබ්බ ආසාවයි තමයි මාව නුවරට ඇදගෙන ආවේ..

මේ හැමදේ ගැන ම කල්පනා කරන කොට මට පවතින සමාජය ගැන තියෙන්නේ වෛරයක් නෙවෙයි කලකිරීමක්. මොකද.., මගේ උවමනාවකට මේ ලෝකෙට එන්න නොදී අනුන්ගේ උවමනාවක් නිසා මගේ ලෝකෙ උන්ට පරිත්‍යාග කරන්න වීම ගැන.

හිත එක්ක පලක් නොමැති කතා මට එපා වී ඇත. ටජ්මහල් දහසක් හිතෙන් හැදුවද., තවම මම පහන් කණුව යට නිසා හිසට වැටෙන දිය මොරගෙඩි මට දන්වන්නට හදන්නේ මේ යථා ලොවතුල එකම ෆැන්ටසිය මගේ හිත පමණක් කියාද...?

පහන් එලි අද්දර ඈතට යමින් දියවන රුව කවුදැයි අඳුනා ගන්නට මට වැඩිවෙලා ගියේ නැත.

අමුතු කතාවේ 6 කොටස ලිව්වේ
malee_msg
http://abnormalminds.blogspot.com
http://maleescreations.blogspot.com
http://pothrakke.blogspot.com

9 comments:

  1. අම්මෝ ඇති යන්තම් 6 දාලා... "පහන් එලි අද්දර ඈතට යමින් දියවන රුව කවුදැයි අඳුනා ගන්නට මට වැඩිවෙලා ගියේ නැත." ඊළග කොටසින් වත් මේ කවුද කියලා කියපන්...

    ReplyDelete
  2. m m m m m dadibidiye kiyawanan ba . .. . niskalankawa kiyawanna ona . . . passe welawakama kiyawala coment karannam

    ReplyDelete
  3. I loved this part so much, its so good. Specially it came with no romance scenes ingratiated repeating.
    Keep writing guys!!!

    ReplyDelete
  4. ඒක නෙමෙයි, අපි මේ කතාව ටිකක් ඉක්මනට ලියමුකෝ.. අඩුම තරමින් සුමානයකට 1 කොටසක් වත්..

    අපේ මලියා ලස්සනට මේ කොටස(6) ලියලා තියෙනවා..

    ඔන්න එහෙනම්,
    අමුතු කතාවේ 7 වන කොටසට දායකත්වය පිස්සාගෙන්...

    ReplyDelete
  5. එළ එළ... නියමෙට ලියලා.... ඒත් අර පිස්ස කියුව වගේ සතියකට එක කොටසක් වත් තියනවනම් ගොඩක් හොඳයි... මොකද නැත්තන් අපිට අලුත් කොටහ කියවන්න කලින් පරණ පොස්ට් එකත් එකම කියවන්න වෙනවා.... :)

    ReplyDelete
  6. අයියෝ කෝ අනේ 7 වෙනි කොටස.

    ReplyDelete
  7. එල එල කතාව හොඳට යනව වගේ...
    6 කොටසට මම කැමති ඔක්කොම එකට සම්බන්ධවුන හින්ද...
    ඉක්මනට ඊලඟ කොටසත් දාන්න. සුබපතනව කට්ටියටම...

    ReplyDelete
  8. සුන්දරයි...
    ලස්සනයි
    පියකරුයි...
    හරි හැඩයි...

    ReplyDelete
  9. අම්මා ගැන ලියා තිබෙන දෑ ඉතා සංවේදියි, සත්ත්‍ය කතාවත් ගලා ගෙන යන හැඩයි !

    ReplyDelete