Thursday, October 8, 2009

අමුතු කතාවක්. 3 කොටස

සමාවන්න මා පටන් ගත් කතාව දිගටම කීම පමාවීම ගැන. ජීවිතේ හැටි එහෙමය. කතාව ගලා යන්නේ අපට ඕනෑ හැටියට නොවේ. ජීවිතය දොළ පහරක් බඳුය. ඊළඟ මොහොත වංගුවක් සේම දිය ඇල්ලක්ද විය හැකිය.
සුජීව ප්‍රසන්න ආරච්චිගේ දුර්වල නව කතාවක වස්තුබීජය බඳු වංශවත් සිංහල යුවතියක් අතේ සතේ නැති දෙමළ කම්කරුවකු හා එක්වීම තුළ බිහිවූ කලල රූපය පස් හැවිරිදිව පිළේ වාඩිවී සිටියේය. පස් හැවිරිදි දරුවකුට තම විජිතයේ රජුද රැජනද දෙමාපියන්ය. දුර්වල නව කතාවක පිටු අතර මිස සැබෑ ජීවිතයේදී සාමාන්‍යයෙන් දකින්නට නොලැබෙන ආකාරයේ සිද්ධියකින් ඔහු කැළඹීමට පත්ව සිටියේය. කවුදෝ නාඳුනන පිරිසක විසින් එදින සවස කෙහෙවල්ලෙන් ඇද පහර දී තිබුනේ ඔහුගේ විජිතයේ රැජනටය. කොයිතරම් කුරිරු වුවද මිනිස්සු සාමාන්‍යයෙන් මිනිසකුගේ වැරදි නිසා ඔහුගේ බිරියට පහර දෙන පහත් තත්ත්වයට නොවැටෙති. එසේම වංශවත් කුල පරම්පරාවකින් පැවත ආ අම්මා පිට මිනිහෙකුගෙන් නිසොල්මනේ පහර කා දරා ගන්නා ජාතියේ ගැහැණියක නොවූවාය. මේ දුප්පත් පියා සමඟ එක් පන්තියක සිට තවත් පන්තියකට, එක් ජාතියක සිට තවත් ජාතියකට මාරු වන්නට තරම් නිර්භීත වූ මේ ගැහැණිය මේ තරම් සරල ලෙස පිට මිනිහෙකුගෙන් ගුටි කා නිහඬ වූයේ ඇයි?
මේ සිද්ධිය ඇත්තටම සිදුවීද නැත්ද යන්න මම අදත් කල්පනා කරමි. පස් හැවිරිදි දරුවකුගේ මතකය දුඹුල්ය. සැබැවින්ම සිදුනොවූ දේද සිදුවුනු ලෙසින් මතකයට එක්වීම නොවැළකිය හැකිය. මේ අපැහැදිළි සිද්ධිය පසුව මට අත්විඳින්නට සිදුවූ සිද්ධිදාමයක ප්‍රතිඵලයක් සේ මගේ මනසට රිංගා නොගත්තා නොවිය හැකිද?

මේ සිද්ධිය හිතළුවක් වෙතත් නැතත් ඊට සම්බන්ධ තවත් රූපරාමු දෙකක් මගේ මනසේ තැන්පත්ව ඇත්තේය. මේවා මනසට පිවිසියේ පස් හැවිරිදි වියේද නැද්ද යන්න මම නොදනිමි.

කතාවක් නැතිව නිසොල්මනේ බූරු ඇඳ මත හිඳගෙන ප්ලේන්ටී කෝප්පය තොළගාන අප්පා!

අවුල් වූ කෙහෙරැළින් යුතුව නැවී ලිපට පිඹිමින් රොටී හදන අම්මා!

හවස අදාළ සිද්ධිය සැබැවින්ම සිදුවී නම් අප්පාගේත් අම්මාගේත් මේ නිවුනු හැසිරීම අපේක්ෂා කළ හැකිද?

"දීපං ඔය මන්න පිහිය මෙහාට. මං ගිහින් උඹට අත තියපු වලත්ත බල්ලගෙ බොකු බඩ වැල් එළියට ඇදලා එන්ඩ!" අප්පා නොකියන්නේ ඇයි? මිනිසකුට මෙතරම් නෝන්ජල් විය හැකිද? ජීවිත කාලයක් තිස්සේ අනුන්ට බැල මෙහෙවරකම් කළා වුනත් අප්පාට ආත්ම ගෞරවයක් කියා දෙයක් ඇත්තේම නැද්ද? පැත්තක ඉන්නා මිනිසකු තමන් ගෙදර නැති අවස්ථාවේ පැමිණ භාර්යාවට පහරදී යෑම ඉවසන පිරිමියකුත් වෙත්ද?

"මදෑ මං මිනිහෙක් එක්ක ආව. ඌ මිනිහෙක් නෙවෙයි පඹයෙක්. මට උං ඇවිත් තඩිබාල ගියාට උඹට කරන්න දෙයක් ඇත්තේම නැද්ද යෝදයෝ?" යි අම්මා නො අසන්නේ ඇයි? මේසා බැරෑරුම් සිද්ධියක් මෙත් සිතින් දරා ගනිමින් රොටී පිළියෙළ කරන්නට ලෙයින් මසින් හැදුණු ගැහැණියකට හැකිද?

මේ සිද්ධිය මට පසු කලෙක අසන්නට ලැබුණු සත්‍යය විය හෝ නොවිය හැකි කාරණා සමඟ කෙසේනම් ගැළපිය හැක්කේද?

"ඒයි මට උඹට කතාවක් කියන්න තියෙනවා!" අට හැවිරිදි වියේදී පමණ මට කීවේ ලයනල්ය. මට පන්ති දෙකකට ඉහළින් සිටි ලයනල් මේ අවදියේදී මගේ එකම සගයාය. පාසැලේ හැම දෙනකුගෙන්ම කොන්ව, එකදු මිතුරකු හෝ අහිමිව සිටි මට සමීප වීමට තරම් නිර්භීත වූයේ ලයනල් පමණි. එය පුදුමයක්ද නොවේ. මීනීමැරුම් නඩුවකින් වරදකරු වූ ලයනල්ගේ පියා සිටියේ දීර්ඝකාලීන සිර දඬුවමක් ගෙවමිනි. දෙතොල් රතු කරගෙන හවස් කාලයේ ලේක් හවුසිය අසළ ගැවසුණු ලයනල්ගේ අම්මා ඉඳ හිටෙක ඇය අසළ නතර කරන රථයකට ගොඩ නඟිනු දුටු අය සිටියහ. මට සේම ලයනල්ටද නැතිවන්නට දෙයක් තිබුණේ නැත. අපි එක අත්තක වැසූ කුරුල්ලන් වීමු.

"උඹලගේ තාත්ත උඹලගෙ තාත්ත නෙවෙයි."

"මොකක්?"

"උඹට මේව කියන එක හරිද මන්දා. උඹලගෙ අම්මව බඩ කරල තියෙන්න කැම්පස් එකේ හිටපු කාලෙ බැච් එකේ කොල්ලෙක්ලු. පස්සේ ඌ මඟ ඇරියලු. උඹව නැති කරන්න හැදුවලු අම්මගේ අප්පච්චිලා. ඒක වලක්ව ගන්න තමයි උඹලගේ අම්මා පොඩිකාලෙ ඉඳන් දැනං හිටපු උඹලගෙ අප්පත් එක්ක පැනලා ඇවිත් තියෙන්න මහ රෑක."

අට ඇවිරිදි දරුවකු භ්‍රාන්තියට පත් කරන සුළු මේ කතාව මගේ චිත්ත සන්තානයේ වෙනසක් ඇති නොකරයි. දරුවකුට වුව දරාගත හැකි දේ සීමාවක් ඇත. පමණ ඉක්මවා බිය වැද්දූ කළ, කෙනෙකුගේ සිතින් බිය පහව යයි. පමණ ඉක්මවා අවමන් කළ තැන කෙනකු අවමන් නොසළකා හරින්නට පුරුදු වේ. වසර ගණනක අප්‍රසන්න සිදුවීම් දාමයක් මා රොබෝ පැටියකු බවට පත් කර ඇත්තේය. මා අසන කිසිවක් තව දුරටත් මා විස්මයට පත් නොකරයි.

"උඹට කීවෙ කවුද?" මා අසන්නේ එපමණකි.

"උඹට ඕනැ නෑනෙ ඒවා!"

අම්මා විශ්ව විද්‍යාලයකට ගියා යැයි මා කවදාවත් අසා නැත. ඈ කිසිදිනෙක ඒ බවක් නොකීවාය. නමුත් යාන්තම් අකුරු ගැටගසා දිනපතා පුවත්පත් කියවන්නට තරම් උගත් වූ අප්පාට සාපේක්ෂව ඈ ලෝකය පිළිබඳව දැනුමැත්තියක වූවාය.

අපේ පුංචි පැළට නිරන්තරයෙන් පැණ එන ගෙම්බකු දකින අම්මා මට උන් ගැන බොහෝ දේ කියා දෙයි. ගෙම්බා දිය ගොඩ දෙකෙහිම වසන සතකු බවද, වැඩිපුර දියෙහි වසන ගෙම්බන් හඳුන්වනු ලබන්නේ මැඬියන් ලෙසින් බවද ඇය කියයි. දිනෙක මැරී සිටින ගෙම්බකු දුටු අම්මා පිහියෙන් උගේ බඩ පළා සිරුර තුළ අවයව මට පෙන්වූවාය. කුඩා දරුවකුට ඉන් උගත හැකි දෙයක් ඇත්ද මම නොදනිමි.

"ඒයි, උඹ දන්නවද? උඹලගෙ අම්මා ඉගෙන ගත්තෙ දොස්තර නෝන කෙනෙක් වෙන්නලු" මේ කතාවද මට කීවේ ලයනල්ය.

මම ඊට සිනාවෙමි. මගේ අම්මා දොස්තර කෙනෙක්? මට එය සිතා ගන්නට වත් නොහැකිය.

මම සියල්ල අමතක කොට වර්තමානයට එමි. කඨෝර හඬකින් ගී ගයන්නේ අල්ලපු කඩේ රේඩියෝ එකය.

"ආදර හැඟුම්.....
ආදර හැඟුම්......
ආ....දර...... හැඟුම්......."

අමුතු කතාවේ 3 කොටස ලිව්වේ
Taboo

12 comments:

  1. 4 කොටස -බිன்ku-ගෙන් ළඟදීම බලාපොරොත්තු වන්න.
    ජය.

    ReplyDelete
  2. මේ කථාව එන්න එන්නම කුතුහලය ඇති කරනවා....

    දිගටම ලියාගෙන යමු...

    බිංකුවෝ....

    ReplyDelete
  3. ඉදිරියට මොනවායින් මොනවා වෙයිද කියලා මටවත් හිතා ගන්න බෑ. ජයෙන් ජය..! ඔහොම යමු..!

    ReplyDelete
  4. කියවන්න ආස හිතෙනවා දැන් දැන්... කතාව එන්න එන්න ලස්සන වෙනවා... කතෘවරු වැඩිවුනාම අල වෙයි කියලා මං හිතුවේ.. පුදුමේ කියන්නේ අපේ ටැබූ මහත්තයත් වැ‍ඩේට බැහැලා නොවැ.. බලමු බලමු මොකද වෙන්නේ කියලා.. ඊළඟට ඉන්නේ අපේ බිං මලයානේ...

    ReplyDelete
  5. හොඳයි මේ උත්සාහය. සැළකිල්ලෙන් සහ චරිත, අවස්ථා ගැන විමසිල්ලෙන් ලියා ගෙන ගියාම වඩාත් හොඳ කතාවක් බිහි වෙයි.

    ගොඩක් අය එකතු වෙලා එකම කතාවක් ගොඩ නගන එක අමුතුයි තමයි.

    සුබ පැතුම්!

    ReplyDelete
  6. lassnayi kathawa.. asayi kiyawagena yanna eka husmata.. thawa thibuna nam :-S

    ReplyDelete
  7. harima lassanai. Tatoo liyala thiyena shayiliya harima apoorui. kathawa lassanata goda nagenawa. binkutath jaya wewa!

    ReplyDelete
  8. superb... i second akkandis comment.,,,


    and where is the 4th edition? Binkuvo y is this delay?

    ReplyDelete
  9. lassana vadak..venas vadak...all the best

    ReplyDelete
  10. Binku me dawas wala tikak busy... poddak iwasanna wei apita.

    ReplyDelete