Sunday, November 29, 2009

අමුතු කතාවක්. 5 කොටස

"අයිඩෙන්ටිය...?"


"ඔව් නැතුව වෙන රෙද්දක් මම තමුසෙගෙන් ඉල්ලුවා ඇහුනේ නෑනේ...?"


"මේ... මේ...,"


"මොකෝ තටමන්නේ තමුසේගේ නම කියනවා බලන්න..,"


"නදියවන්"


"න...නදියවන්...?"


"ඔව්.."


"සාජන් මහත්තයා..., සාජන් මහත්තයා.., මූ දෙමලෙක්ය කියන්නේ...!"



කොස්තාපල්ගේ කෑ ගෑමත් සමඟම ජීප් රියෙන් බැස ආවේ උත්තුංග දේහධාරී රේඩියෝ මැසෙන්ජරයක් අතින් ගත් පුද්ගලයෙකි.

"අයිසේ මේ පී.සී..., ඔය යකාව අත ඇරලා දාලා එනවා යන්න හිල්ටන් එක ගාව ඇක්සිඩන්ට් එකක් වෙලා ලු..,"

"අදට විතරක් තො බේරුනැයි කියලා හිතා ගනු...,පල යන්න කිව්වෙ මෙතනින් මකබෑවෙලා යන ගුබ්බෑයමක ට..."


නදියවන් නම ඇසූ සැනින් උන් හිත් තුල සැකයක් ඇති කලේ හිඟන්නාගේ තුවාලය මෙන් සදාසුවයක් නොලබන මේ කාළකණ්නි යුද්ධය නිසා ය.
එක අහසක් යට ඉන්න අපේ ම එවුන් මරා ගන්නා හැටි...?

නිමේෂයක ට, නන්නත්තාරේ යන කාලකණ්නියෙකු වූ මම බලා උන්නේ ඒ රොද හතර ඈතට යනු දෙස ය.
දවසක් මම, අනෝරාවක් වැස්සක ට පසු මිදුලේ පෑදී තිබූ පුංචි දියවලක මුදුන් වී තිබූ හඳ අල්ලන්න තනද්දී අපේ අම්මා කිව්වේ..,

"පුතේ හඳ අපිට ගොඩක් දුරයි....,

හඳ අපට ගොඩක් දුරයි මගෙ පුතේ..."


අම්මා මා අල්ලන්ගියේ මගේ මඩ තැවරුනු දෑත සෙනෙහෙබරව ඈ ගවුම් රෙද්දෙන් පිසදා ය.

....................... මාරස්සන ඉඳන් දවසක් ට වාර ගණනක් සෙංකඩගල ට ආවගියද, තමරිව දකිනතුරු, මම දැවැන්ත සුවිස් හෝටලය විනා ඒ ඉදිරිපස, නුවර වැව වෙත නැවී හිනැහෙන ඇසල මල් ගහ දුටුවේ නැත.බස් එකේ යන එන තුරු, වැවේ බෝට්ටු, වතුර මල බැලුවද, එළි වැටි, නුවර වැව් පවන් රොදින් රැළි වැටුණු ඒ හඳේ ලස්සන දැක්කේ ද නැත. මාළිගාව වටේ පුන් හදවතින් යුතුව ඔබ හා ඇවිදිත් දී, මා හට කට වහන්න ට බැරි වූ නුවර වාචාල කොල්ලන් ගේ මුවෙන් වැහැරෙන..,

" ෂහ් මරු බඩුව නේද? "


කියා මා සවනත උන්ගේ මුග්ධ වදන කණ වැකෙණ විට මා හදවත මුමුණන්නේ

'තමරී.., නුඹ බඩුවක් වත් ගෙඩියක් වත් නොව............, මා අමාවක පැතූ සඳවතිය' බව ය.


පෙම් හැඟුම් පිබිද නිබඳව ම පය එසැවෙන්නේ නානාගේ මුස්ලිම් හෝටලයට ය. එසේ යද්දී සෙනඟ අස්සේ ඇස ගැටෙන්නේ ඉංගිරිසි අකුරු තුනේ කුකුල් මස් කඩේ ඉදිරිපස කිරිනැති තණයක් උරන දරුවෙකු අතින් රුවා ගත් මවකි...,

"අනේ පවු අහිංසක දරු පැටියා"


යැයි ඈ පවසත් ම ඈව තරව අති අල්ලා ගන්නට සිතුනද මසිත ඊට පසු බෑවේ එවකට මා හද තුල වූ දේ ඈ හාංකවිසියක් වත් නොදන්නා බැවිණි.

හදිසියේ මා සිත දුවන්නේ මෙයට මාස 4 කට පෙර දළදා මාළිගාව අසබඩට ය.
ඒ අප දෙන්නට දෙන්නා එකිනෙකා ට කෝඩුකාර වූ කාලයයි.., මාළිගාවේ බතික් කඩේ ඉස්සරාහ සිට මදෙසට හැරුන ඈ යමක් පවසන්න ට තනන්නේ නෙතට හොරෙන් ය.

"වහිනවා නේ..?"


"හ්ම්ම්ම්"


"එන්න කුඩේ යටට..!"


පොද වැස්ස ට තෙත් වූ අප දෑත් එකිනෙක ස්පර්ශය, හිත ඇතුලේ අකුණු ගසන්නක් මෙන් විය.

"නම මොකද්ද..?"


මම ඇසීමි

"තමරි... තමරි මල්ෂිකා"


ඈ පිළිවදන් දුන්නේ පොළවට ය.

නම ඇසුනද, ඒත් සමඟ ම කුඩය උඩට වැටුනු පුලුන් ගෙඩිය මා හිසට වැටුනේ විසල් රිදුමකුත් සමඟ ය. ඔලුව අතගා ඇස් අරින විට මම තාමත් පහන් කණුව යට ය.
හිතේ වේදනාව හා වූ හිස් වේදනාව දැන් වැඩිය.
අතීතය සිහිනයක් පමණයි යන සරින් ළඟම නැවතූ ත්‍රීවීලරය කින් ඇහෙන්නේ, මට පමණක් ද..?

බම්බුව..... මේ යක්කු අපිට කියන්නේ මැරිල ඉපදෙන්න කියලද...?


තාමත් මම ගාලු පාරේ පහන් කණුව යට ය... දින කිහිපෙක අරගලයකින් පසු පොඩි කඩයක කැශියර් උනේ වාසනාවට ද අවාසනාවට ද...? මමත් සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතාවක වස්තු බීජයක් උනා නම් නවතින්නේ ධනපතියෙකු වීය. ජීවිත ඔය කියනා තරම් මල් පාත්තියක් නොම වෙයි. ආදරයේ වේදනාව, වළාකුලු යට පාවෙනවා වගේ නොම බව මා හට දැනී අවසානය.

මා හිත එක වරම තිගැස්සී ගියේ අහම්බයෙන් දුටු රුවක් නිසාය...





අමුතු කතාවේ 5 කොටස ලිව්වේ
කාවින්ද හෙට්ටිආරච්චි
ඔහු බ්ලොග් ලියන්නෙකු නොවේ.
කාවින්ද හොයාගන්න ක්ලික් කරන්න.

8 comments:

  1. නුවර ගැන මතකය වඳ දීලා වද ඳීලා ඒක කවියකින් පිට කරා විතරයි, ඒක ආපහු මං ගාවට ගෙනාවනේ. ඇත්තටම හරි අපුරුයි මචං, සිරාවටම!!!

    කවුද කැමති සවැනි කොටස ලියන්න???

    ReplyDelete
  2. is this out of the track? i cant get back to previous parts.

    ReplyDelete
  3. Il mondo di una povera pazza,
    Kind of. But this අමුතු කතාවක් is contributing by other writers and readers. We are trying to give them as chance to give a chance. so sometimes its common to see some of parts like that. :)

    ReplyDelete
  4. අහම්බෙන් ගොඩ වැදුනේ.
    මට ගොඩාක් කතා මිස් වෙලානේ...

    සිරා මසං

    /නිශාන්ත

    ReplyDelete
  5. කෝ අනිත් කෑල්ල???
    අයියෝ මෙහෙම බෑ,
    කවුද අනිත් කොටස ලියන කෙනා..
    මෙහෙම පරක්කු උනොත්, කතාව අමතක වෙනවා නොවැ...

    ඉක්මනට ලියන්නකෝ !!

    ReplyDelete
  6. ලස්සන නම.
    පුලුන් හෑල්ලු උනාට ගෙඩිය ඔලුවට වැටුනම දවල් තරු පේනවා. :D

    @කාවින්ද හෙට්ටිආරච්චි
    සයිබර් අවකාෂයට සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න

    ජයවේවා!

    ReplyDelete
  7. ලස්සන නම.
    පුලුන් හෑල්ලු උනාට ගෙඩිය ඔලුවට වැටුනම දවල් තරු පේනවා. :D

    @කාවින්ද හෙට්ටිආරච්චි
    සයිබර් අවකාෂයට සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න

    ජයවේවා!

    ReplyDelete