Tuesday, May 4, 2010

අමුතු කතාවක් 13 කොටස

කොට්ටය යට තිබූ දුරකතනය නැවතත් නිම්නාද විය….

ආයෙමත් කව්ද? අනුරාධ කල්පන කලා…..

හලෝ…….

අනුරාධ ….

මල්ෂී…..

අනුරාධ මම ඔයට කිව්වේ සෝමෙ කියන්නේ අපෙ අප්පචිගෙ මිනිහෙක්…

ඇත්ත නම සිසිල්.

හුස්මක් නොගෙන එක දිගටම මල්ෂී කියන කතාවේ තෙරුම කුමක් දැයි අනුරාධ කල්පනා කලේය.

ඉතින්???

ඔයා ඔය ලඟ තියාගෙන ඉන්නේ සෝමේ අයියගෙ ෆෝන් එක නෙද? අපේ අප්පච්චි කොයි වෙලාවක හරි කතා කරයි ඔයාට…

අනේ අනුරාධ ආන්සර් කරන්න එපා.

හොහොම උනත් අප්පච්චි කට්ටිය යවයි හොස්පිටල් එකට.
හ්ම්ම් ඒකත් එහෙමද?

ඔයා පරිස්සමින් ඉන්න මල්ෂි…. මම සෙවිල්ලෙන් ඉන්නම්.

බුදුසරනයි. පරිස්සමින් ඉන්න.

ඇමතුම විසන්දි කල අනුරධ නැවතත් අතරමන් උන අතීතයේ සෝමෙ අයියා නරක මිනිහෙක් වෙන්න පුලුවන්ද?

මට මෙච්චර උදවු කලේ මොනවා බලාපොරොත්තුවෙන්ද? මට කොච්චර සල්ලි දීලා තියෙනවද?

අනේ මන්දා….

මල්ෂීට කරදරයක් වෙයිද දන්නෙ නෑ……

දීර්ඝ සුසුමක් හෙලු අනුරාධ තම හිතේ බර නිදහස් කරගැනීමට සිතුවද එයින් සිදුවූයෙ තව තවත් හිත රිදුම් දීම පමනකි.

මිනිහෙක්ගේ වාසගම දෙමල උනු නිසාම  මේ ලංකාව ඇතුලෙ කොච්චරනම් කෙනෙහිලි කම් වලට මට මූන දෙන්න උනාද?

හ්ම්ම්….

සෝමෙ අයියට කොහොමද දන්නේ නෑ.. දැන් ඉතින් හොස්පිටල් එකට ගිහින් බලන එකත් භයානකයි.මල්ෂි කිව්වා වගේම මල්ෂිලගෙ අප්පච්චිගෙ මිනිස්සු ඇති හොස්පිටල් එක වටේම…

මල්ෂීට සනසුම් සුසුමක් හෙලුනේ ඉබේටමය..

ඇමතුම විසන්දිවී ගිය පසු දුරකතනය ටීපො එක උඩට විසිකර දැමූ ඇය යලි හැරුනේ ජිනදස වෙතය…

හ්ම්ම් ජිනදස..

සිසිල් ෆෝන් එක අනුරාධට දීලා ගිහින්..

ඉතින් පුංචි නෝන කිව්වද පරිස්සම් වෙන්න කියල ?

ඔව්

අපේ අප්පච්චිගේ ජරා දේශ්පාලනේ…… එයා හිතන් ඉන්නෙ එයාගෙ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ කියලා. ආදරේ කියන වචනේ ගැනවත් හැඟීමක් තියෙන මනුස්සයෙක් නෙවෙයි..

ජිනදාස

පුංචි නෝනා?

මේ සිසිල් ගෙ නම්බර් එක මගෙ ෆෝන් එකට ආවෙ කොහොමද?

ඒක දිග කතාවක් නෝනා….

මේ ඔක්කොම මහත්තයගෙ වැඩ …

අමුතු කතාවේ 13 කොටස ලිව්වේ
උපේක්ෂා ප්‍රේමතිලක

Tuesday, March 23, 2010

අමුතු කතාවක් 12 කොටස

"හලෝ"

තමරීට සිය දෙසවන් අදහාගත නොහැකිවිය. පුරා සය වසකටත් වඩා ඇසුන පසුගිය අවුරුද්ද මුළුල්ලේම ‍නෑසුන ඒ හඞ දහසක් අතුරින් වෙන්ව හඳුනාගත හැකිවූ ඒ හඬ, මින් දිනකට පෙර නැවත ඇසුන ඒ හඬ.

"අනුරාධ"

"මල්ෂී"


විනාඩියක් මල්ෂීත් අනුරාධත් නිහඞව ඉන්න ඇති. ඒ අවුරුද්ද තුල සිතේ සැඟවුන සිතිව්ලි හුදකලාව මුදාහැරීමට ඇති අකමැත්ත නිසා වන්නට ඇත. පෙරදින අනුරාධ හමුවීම කෙතරම් නුපුරුදු නුහුරු ලෙස සිදුවුනිද? එහෙත් නිහඬව ගතවී ගිය ඒ විනාඩිය තුල ආලය නැවතත් අනුරාධ හා මල්ෂිකා සොයා පැමිණ තිබුනි. ඒ මිනිත්තුව තුල කිසිවක් සිදුනොවුනද බොහෝ දෑ සිදුවී තිබුනි......

"කොහොමද දැන් සෝමෙ අයියට"

සෝමෙ අයියා ගැන තමා දන්නා සත්‍යය මින් පෙර අනුරාධට පවසා තිබුනද අනුරාධ එය කනකට‍ නොගත්තේ තමා ගැන නොසැලකීමක් නොව අනුරාධ එය පිලිගැනීමට මැලි වූ නිසා බව තමරී හොඳාකාරවම දැන සිටියාය.

"සෝමෙ අයියාට අමාරුයි වගේ දන්න කවුරුත් කියන්නත් නෑ මල්ෂි මම කරකියාගන්න දෙයක් නැතුව ඉන්නෙ"

සැබවින්ම අනුරාධ අසරණවී සිටියේය. සිය ලඟම හා එකම නෑයා මෙසේ එක්තැන් වීම යන ‍ශෝකයෙන් හා අසරණකමෙන් සැබවින්ම අනුරාධව අඩපණ කොට තිබුනි.

"මමත් පුළුවන් දෙයක් කරන්නම් අනූ..... බුදුසරණයි"

කියන්නට දහසක් දේ සිත තුල තෙරපුනද අනුරාධගේ මුවින් පිටවූ‍යේ "බුදුසරණයි " කියන වචන දෙක පමණි.

අනික් කිසිම සරණක් නැතිවුනාම මිනිස්සුන්ට මතක් වෙන්නෙ දෙයියොන්වයි බුදුන්වයි හරිම විහිළුවක්.......

අනුරාධ ජංගම දුරකථනය කොට්ටෙ යටට දාලා සුසුමක් හෙලලා ඇඳේ වැතිරුනේ සෝමෙ අයියා ගැන කල්පනා කරන ගමන්. අනුරාධට සෝමෙ අයියා ගැන තමරි කලින් කියපු කතාවක් මතක් වුනා.

"‍සෝමෙ කියන්නෙ අපේ අප්පච්චිගෙ ම්නිහෙක් අනුරාධ"

අනුරාධ ඒක එවෙලේ පිලිගත්තා වගේ හිටියත් හිත ඇතුලින් අනුරාධ ඒක පිලිගන්න සූදානමක් තිබුනේ නෑ. ඒ සමහරවිට ගෙවාගන්න බැරි තරම් අනුරාධ සෝමදාසට ණය වෙලා තිබුන හින්දද නැත්නම් සෝමෙ අයියට හිතේ තිබුන ලෙන්ගතුකම හින්දද කියලා කියන්න බැරි තරමට අනුරාධ සෝමෙ අයියට ලං වෙලා හිටියා. ඒකට තවත් හේතුවක් විදිහට සෝමදාස කියන චරිතෙ අස්සෙ හැංගුන අනුරාධ දැකපු මනුස්සකම කිව්වොත් වැරැද්දක් නැතිවෙයි. එක දවසක් කඩේ කැෂියර් ඉන්න පැට්‍රික් අයියගේ අම්මා අසනීපෙන් ඉන්නකොට තනියම ඉස්පිරිතාලෙ ඉඳන් පැට්‍රික් එනකම් අම්මාව බලාගත්ත හැ‍ටි. එකපාරක් අනුරාධට මැලේරියාව හැදිලා ඉන්නකොට දවස් ගාණක් ඉස්පිරිතාලෙ තනිරැක්ක හැටි.

"මේ මනුස්සයා අනුන්ට කර කර හිටියා මිසක් තමන්ට කියලා දෙයක් කරගෙන තියෙන එකක්යැ.. බෙන්ලි බයිසිකලයත් මේ ලෑලි ගෙයත් ඇරෙන්න ඇරුණාම වෙන වස්තුවක් තියෙනවද කියලවත් දන්නෙ නෑ"

එක දවසක් අනුරාධ සෝමෙ අයියාගෙන්

"සෝමෙ අයිය කවුද ‍? මෙකද්ද තනියම කරන්නෙ" කියලා අහපු හැටි මතක්වුනා.

සෝමෙ අයියා යන්තම් සිනාවෙමින් "උඹට මම සෝමදාස කියලා දැනගත්තාම මදිද?"

"මෙහේ මම කරන්නෙ උඹ දන්න ටිකම තමා බං"

"ජීවිතේ තියෙන්නෙ ජීවත් වෙන්න මිසක් මැරෙන්න ඕනි තැනක් නෙමෙයි බං. උඹ මෙහෙම හිතපන් මම ජීවත් වෙන්න හදන මිනිහෙක් මට ඕනි අනික් එවුනුත් ජීවත් වෙනවා දකින්න ඔන්න ඕක දකින්න බලපන්"

අනුරාධ සිතිවිලි ලෝකයෙන් මෙපිටට ආවේ නැවතත් කොට්ටෙ යට දෙදරන සද්දෙට..

"හලෝ"

අමුතු කතාවේ 12 කොටස ලිව්වේ
මන්දාකිණි
http://mageloekaya.blogspot.com

Monday, March 8, 2010

අමුතු කතාව 11 කොටස

දෑතේ ම නිය එකිනෙක වද්දමින් තමරී සෝපාවේ සිටියේ කල්පනා කාරීවය. හෝටලයේ සිට තම නවාතැන බලා එත්දී අනුරාධව මුණගැසුනේත්, නිමේෂයකට පසු තුවාල වූ සෝමේ ව දකින්න ලැබීමත් නිසා තරුණිය තිගැස්සී සිටියා ය. සැබෙවින් ම ඈ තැතිගෙන සිටියා කිවහොත් නිවැරදි ය. මකුලු දැල ක ට හසුවූ සමනලියක බඳු වූ මේ තරුණිය තම ජීවිතයට ඉතා සමීප සම්බන්ධතා පවත්වන අයව පවා මේ දැලේ ගොදුරු බවට පත් කරන්නට සිදු වූයේ එසේ නොකලා නම් තම ජීවිතයෙන් ඊට වන්දි ගෙවන්නට වන බැවිනි.

ටීපෝව මත වූ සිය ජංගම දුරකතනය ගෙන යතුරු කිහිපයක් එබූ ඈ ඇමතුම සම්බන්ධ වන තුරු සිටියා ය.

“හලෝ...,

ජිනදාස ද?

අප්පච්චි ඉන්නවද ඔතන ?

නෑ..? ඇයි කොහේ ගිහිල්ලද...?

හරි...!, 

තව ටිකකින් ආවොත් මට කෝල් එකක් දෙන්න කියන්න මතක් කරලා හරිද...?”


විනාඩියක් ගෙවෙන්නටත් පෙර තමරීගේ දුරකතනය රැව් දෙන්නට වූයේ ඇයට වෙනදෙයක් ගැන සිතන්නට වත් ඉඩක් නොතබා ය.

“හලෝ...?

හලෝ දුව.., මේ අප්පච්චී...?

ඇයි කතාකලේ...?

මතකද අප්පච්චී මගේ අනුරාධ ගැන හොයන්න කියලා බාරදුන්න ස්ටෝරු වත්තේ මිනිහෙක්ට...?

ඉතිං...?

ඉතිං කියන්නේ අන්න ඒ මිනිහා දැං ටිකකට කලින් ඉස්පිරිතාලේ අරං ගියා...?

තමුසේ කොහෙද ඒ වෙලාවේ හිටියේ...?”

තම මංත්‍රී පියා ඔහුගේ යටත් වැසියට කරන අණකෙරීම තමාටද කරන්නට එන බැව් දැනගත් තමරී ට ඒ බව ඉවසුම් නොදෙන්නට විය.

“මේ අප්පච්චී.., ඔයාගේ ඔය කටු ලෙවකන බල්ලන්ට දාන පාට් මට දාන්න එපා හරිද? මම ඒවෙලාවේ අනුත්තරාගේ අක්කාගේ වෙඩින් එකට උදවු කරන්න ගිහින් අපාර්ට්මන්ට් එකට එන ගමන්. මම බ්ලොක් එකේදී තමා දැක්කේ කාර් එකක ඒ යකාව දාගෙන යනවා.”

හැමවිටම සිද්ධිය ගැන කීමේදී අනුරාධ ගැන වදනක් හෝ මුවින් පිට නොවන්නට තමරී වග බලා ගත්තා ය...!!! ඒ තමා ඔහු ගැන කියන හැමවිටකම අප්පච්චී දන්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් කිපෙන බැවිනි.

“හ්ම්ම් ඒකත් එහෙමද...?”

අප්පච්චී සුසුමක් ලන හඬ ඒහා අන්තයෙන් තමරී ට ඇසිනි.


“මම හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන් දුව ඔයා ඒක කවදා හරි තෙරුම් ගනීවි.”

ඇමතුම විසන්දි වීමේදී ඇසෙන ශබ්දය තමරී එයට උත්තර දෙන්නට ප්‍රථමයෙන් ඇසෙන්නට වූ නිසා යුවතිය නැවත තම දුරකතනය ටීපෝව මතින් තැබුවා ය.


“අප්පච්චී මාව රකින්න මේ හැමදේම කලේ කියන එක මම කොහොමද විශ්වාස කරන්න්නේ...?

එයාකරලා තියෙන හැම දහදුරා වැඩක් ම මම වෙනුවෙන් කරපු එව්වද...?
එතකොට මේ සේරට ම මුල මමද...?”


මගින් මිලදී ගත් කෑම පැකට්ටුව මයික්‍රෝවේව් උදුනට රත්වෙන්නට දමා තමරී.., කලින් සාදාගත් කෝපි කෝප්පය තොලගාන්නට පටන් ගත්තා ය.

කිසිවෙකු තම දොර අභියස සිටින වග දැන ගත් තමරී කවුද කියා බැලීමට විමසුම් කවුලුවෙන් බලන්නටත් පෙර  අමුත්තා දොරට තට්ටු කරන්නට විය.

ටක්..ටක්..ටක්...! ටක්..ටක්..ටක්...!

කවුද ඔතන...?

තමරී ඇසුවේ තිගැස්මෙනි...!

පුංචි නෝනා..,     මේ මම…,  දොර අරින්න...!


දොර පිටුපසින් ඇසුන කෙඳුරුම් හඬ කගේදැයි හඳුනා ගත් තමරී දොරේ අගුලු නිදහස් කලා ය..!
ජිනදාස...?
මොකද මේ මහ රෑ...?


පුංචි නෝනා ලොකු මහත්තයාට කතා කරනවෙලාවේ මම හිටියේ ඒ ළඟ...!
ඉතිං  ඒක කියන්නත් දෙයක් යැයි ජින්දාස ඒක කොහොමත් එහෙමනේ...?

තමගෙත් තම පියාගෙත් විශ්වාසවන්ත ම සේවකයා මේ රෑ මෙසේ කරදර කිරීම ගැන තමරී ගේ සිතේ ඇතිවුනේ තරහාවකි.
මම ආවේ ලොකු දෙයක් කියලා යන්න..!

මොකද්ද ජිනදාස..?

ඉක්මනට මෙහෙන් චුත වෙලා යන්න නෝනා. පුංචි නෝනා වැටෙන්න යන්නේ ලොකු කරදරේක..!

කරදරේක...? මම..? ඒ මොකද...?
කෝ පුංචිනෝනගේ පෝන් එක...?

ආ මේ තියෙන්නේ...?

බලන්න ඕකේ සිසිල් [Sisil] කියලා නමක් එක්ක නොම්මරයක් තියෙනවද කියලා...?

තරුණිය තමා අත වූ දුරකතනයේ නොම්මර පරික්ෂා කරන්න වූයේ වෙවුලන ඇඟිලි තුඩිනි. වෙන්නට යන දේ කුමක් නමුත් එය ඉතා භයානක බැව් ඈ හට ඉවෙන් මෙන් දැනෙන්නට විය.

ආ... මේ තියෙන්නේ...?
ඔය ..., ඔය තමා..., පුංචිනෝනා මේ හැම කරදරයක ට ම මුල...

ඔය සිසිල් කියන්නේ අර පුංචි නෝනා කියපු සෝමේ ම තමා..

මොනවා..? ඒත් ඉතිං මේ නොම්මරේ කොහොමද මගේ ෆෝන් එකට ආවේ...?

ඒක දිග කතාවක් පුංචි නෝනා..,
ඔක්කොට ම කලින් ඔය නොම්මරේට කෝල් එකක් ගන්න.., මම  හිතන්නේ මම දන්නව ඔය පෝන් එක දැං කා ගාවද තියෙන්නේ කියලා.


වෙවුලන දෑතින් තරුණිය ඇමතුම සක්‍රීය කලාය..,

දෙවරක් වැදුන දුරකතනය අවසන සන්ධි වින..,

හලෝ.....?

අමුතු කතාවේ 11 කොටස ලිව්වේ
පිස්සා
http://pissa-pissublog.blogspot.com

Wednesday, February 17, 2010

අමුතු කතාව 10 කොටස

මල්ලී මල්ලී නැගිටින්න..,
මොකෝ මේ බංකුව උඩට වෙලා.., අන්න දොස්තර මහත්තයා හොයනවා ලෙඩාව බාරදුන්න කෙනාව.

මම කවුන්ටරය වෙත දිවගියෙමි.

ඔව් ලෙඩෙක්ව අරං ආවද...?
නෑ මිස්. දැං ටිකකට ඉස්සර වෙලා ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක්ගේ භාර කාරයෙක් ව හෙව්වද?
ආහ් ඔව්
දොස්තර සමරනායක ව දැක්කද..?

කවුන්ටරයේ සිටි මහජන සබඳතා නිලධාරිණිය ඇසුවේ කවුන්ටරය ළඟින් තම රාත්‍රී වැඩමුරය අවසන් කරමින් නිවෙස බලා යන රෝහල් සහයකයෙකු ගෙනි.

අන්න දෙකේ වාට්ටුවට ගියා.

යන්න....දකුණු පැත්තේ දෙවෙනි වාට්ටුව..,
ඈ අතින් සන් කරමින් මාහට පැවසීය.

මා යනවිටත් දොස්තර මහතා සිටියේ ලෙඩෙකු පරික්ෂා කරමිනි.

ඩොක්ටර් අර...,
එකේ වාට්ටුවට අරන් ආපු ලෙඩාගේ භාරකාරයා ඔයාද?

දොස්තර ඇසුවේ හිසවත් නොඋස්සා ය.

ඔව්...?

ලෙඩාගේ තත්ත්වය පොඩ්ඩක් දරුණුයි වගේ පුතා.

ඩොක්ටර්...?


ඔව් පුතා ඔලුව බිම වැදුනු පාරට skull [හිස්කබල] එක පුලුරලා. මොලේට ලේ බැහැලා..., ලෙඩාට සිහිය එතරම් නෑ වගේ. අසිහියෙන් කියවනවා.., බයවෙන්න එපා අපි පුලුවන් උපරිමය කරනවා.

මා සිටියේ නිර්වින්දනය වූ ලෙසිනි.

පුතා..., හෙට අපි ලෙඩාව ඔපරේට් කරනවා. එතකං ඔයා මෙහෙ ඉඳලා තේරුමක් නෑ. ගෙදර ගිහින් පවුලේ අයට මේ විස්තර කියලා ඒ අයව හෙට එක්කගෙන එන්න.

තත්ත්වය හිතුවට වඩා භයානක වී ඇත. ගුණසේන එකේ වැඩට ගිය දා පටන සෝමෙ අයියගෙ බංගලාව වූ ස්ටෝරුව වත්තෙ පහේ පේළියෙ තුන්වන ලෑලි ගෙදර අපදෙදෙනාට සෙවන විය. කාමරයට ම සිටියේ අප දෙදෙනා පමණය. අප දෙදෙනාට සිටින එකම නෑයෝ වූයේ අපදෙදෙනා පමණය.

ඉදින් සෝමේ අයියගේ කියා නෑයෙකුට කියා මම කියන්නේ කා හටද..?

ඩොක්ටර්..?

ඔව් පුතා...මොකද්ද ප්‍රශ්නේ..?

සර් නෑයෙකුට , යාලුවෙකුට කියා සෝමේ අයියාට ඉන්න මම ම තමා...?

හ්ම්..! කමක් නෑ. ඔය ගෙදර යන්න. හෙට ඇවිත් පේෂන්ට් ගේ පේපර්ස් වලට සයින් කරන්න...!

මොනවා හරි ප්‍රෂ්ණයක් තියේ නම් මට කියන්න ඕකේ..?

හා සර්...!

සර්..?
ඔව් පුතා..?
මට ලෙඩාව බලන්න යන්න පුලුවන්ද...?

ගියාට කමක් නෑ..? ලෙඩා එක්ක කතාකරලා එයාව මහන්සි කරවන්න එහෙම එපා හරී...?

එහෙමයි..!

දොස්තර හෙද සහයක සමඟින් මා පසුකර ගිය විට මම එකේ වාට්ටුවට යන්න හැරුනෙමි… සෝමේ අයිය හිටි දහයේ ඇඳ දැල් දෙකකින් වටකර ඇත..., ඒ ලේඩා ඇඳෙන් නොවැටෙනු පිණිස බව මට බැලූ සැනින් අවබෝධ විය.

මම සයනය අසලට ගියෙමි.

මීට පෑ දෙකකට පෙර මා හා කතා කරමින් ආ සෝමේ අයියා දැන් සිටියේ සයන ගතව සිහි මඳව ය. බෙහෙත් නිසා දුඹුරු පැහැ ගැන් වූ වෙලුම් පටි මුහුණට ගෙන ආවේ අවිහිංසක පෙණුමකි. සිහි මඳව දැලට තට්ටු කරමින් සිටින මේ සද්දන්තයා දුටුවිට මට ඇති වූයේ කියා ගත් නොහැකි තරම් ශෝකයකි.

අසිහියෙන් සිටින මේ මිනිසාව වෙහෙස කර මාව හඳුනනවාදැයි අසන්නට මට හිත් දුන්නේ නැත මම ආපසු හැරුනෙමි.

බෝඩිමට එනවිට පාන්දර දෙක පමණ වූ නමුත් ඒවන විටත් අසාර්ගේ කාමරයේ පහන් දැල්වී තිබුණ නිසා මම ආවේ හඬක් නොනැගෙන පරිදිය. පාල තිබූ වතුර බේසමෙන් මුව දොවාගත් මා සෝමේ අයියාගේ ඇඳෙන් ඉඳ ගත්තේ යට තිබෙන ඇඳුම් පෙට්ටියේ ඔහුගේ නෑයෙකු ගැන කිනම් හෝ හෝඩුවාවක් ඇති දැයි සොයනු සැකයෙනි. ඉවත දමන ලද ට්‍රන්ක පෙට්ටියක් වූ එය ඇඳ උඩට ගත්තේ අසීරුවෙනි.  පිළිවෙලට ඇඳුම් අඩුක්කර තිබූ පෙට්ටියේ ඇඳුම් සියල්ල ඉවත් කලත් කිසිවක් සොයාගත නොහැකි වූ නිසා වසන්නට යත්දී පලේකාට්ටු සරමක් අස්සෙන් වැටුනේ පොඩි  පොතකි. එය දිනපොතක් විය. දින නැති දින පොතක් කිව්වොත් නිවැරදි ය.

වෙව්ලන වෙද අකුරින් ලියූ කුරුමිණි අකුරු කියවීම පමණක් නොව සිතීමද උගහට ය. නෑයෙකු හොයන්නට ඇති අවැසි බව කම්මැලි කමට වඩා විසල් වූ නිසා අවසන මම කෙසේ හෝ කියවන්නට පටන්  ගතිමි. පිටු කිහිපයක් කියෙව්වත් වැදගත් යමක් නොවූ නිසා  පොත වහන්නට උත්සහ කරන විටම නෙත ගැටුනේ රතු පාටින් ලියන ලද කොටසක් වෙතය.

3-10 හවස 4.30ට මන්ත්‍රී තුමා.
බැරිනම් කෝල් කරන්න මේ නොම්මරේට...,

පහත වූ නොම්මරය මගේ ඇස ට හුරුපුරුදු නොම්මරයක් විය.
දෑස මටත් හොරා මගේ අත දිහාට නැඹුරු වූයේ ඉබේටම ය..,

3......5......7......5.....4......6...?

දෙයියනේ මේ තමරී දුන්න නොම්මරේ නේද…..?

එතකොට ත.....?

හිතන්නට අවකාශයක් ලැබුනේ නැත.., කල්පනා ලොව දෙපලු කරමින් සෝමේ අයියාගේ ඇඳේ ඉහ කොට්ටය අස්සෙන් බොල් හඬින් රැව් දෙන්නේ දුරකතනයකි....!

ක්‍රීං.... ක්‍රීං...!

මම අතට ගෙන ඇමතුම සන්ධි කලෙමි..!

හලෝ...?

අමුතු කතාවේ 10 කොටස ලිව්වේ
Lishan Puwakowita
http://lishwish.blogspot.com
http://rasthiyadukatha.blogspot.com
http://l15h4n.blogspot.com

Tuesday, January 26, 2010

අමුතු කතාව 9 කොටස

අතීතයේ අඳුරු අහුමුලු පීරමින් සොයද්දී එක තැනක ඉඳන් තව තැනකට සීරුවෙන් අඩිය තියමින් යන ගමන් ලයනල් කියපු

"උඹ තාත්ත කියන්නෙ උඹලගෙ තාත්තට නෙවෙයි."

කියලා කියපු දේට සම්බන්ධයක් තියෙන දෙයක් ගැන පුංචි මතකයක් . . . මතකයේ නොරැඳෙන තරම් පුංචි කාලයේ සිදුවූ සිදුවීමක මතකයක් මේ දැන් දුටුව දරුප්‍රසූතියට රෝහලට ත්‍රීවීලයෙන් පැමින වේදනාව අතරින්ම මුවේ මඳහසක් නඟාගෙන බැස්ස මාතාවගේ දර්ශනය හරහා ආයාසයෙන් මතකයට නංවාගන්න උත්සාහ කිරීමේදී දෝරගලා ආවේ හරියට හිරකරලා තිබුනු වතුර පාරක් වක්කඩක් කැඩුවා වගේ වේගයෙන් . ..

දිනක් පාසැල් ඇරිලා සුපුරුදු පරිදි කුනු ගඳ ගහන කානුව පහුකරන් බාගෙට වැහිලා තිබු ලෑලි දොර ඇරගෙන ගෙදර ඇවිත් පොත් ටික . . . කෑම උයද්දී ප්‍රයෝජනයට ගන්නත්, උයපුවා හෝ හදපු රොටී දෙක ප්ලාස්ටික් පිඟානකින් වහලා තියන්නත්, මගේ පොත් කීපය තියා ගන්නත්, මට පාඩම් වැඩ කරන්නත් ආදී සියලුම දේ වෙනුවෙන් අපේ දිරාගිය ලෑලි ගෙදරට තිබුනු එකම මේසය උඩින් තියා පාසැල් අඳින මගේ එකම කලිසමයි කමිසෙයි ගලවා දමා අන්ඩ දැමූ කොට කලිසම ඇඳගෙන ආපහු දිව්වේ මුඩුක්කු පේලියේ අනිත් ලමයින් එක්ක සෙල්ලම් කරන්න . ..

හති වැටෙන කම් සෙල්ලම් කල මම නිවසට ආවේ කුසගින්න තවදුරටත් ඉවසා ගන්න නොහැකි බව දැනුනු පසුවයි . .

"අම්මේ බඩගිනී. . ."

කියාගෙන ලිපට පිඹිමින් උන්නු අම්මා ලඟට ගිය ගමන්

" පොඩ්ඩක් හිටපන් පුතේ . . මම මේ කහට කෝප්පයක් හදලා සීනි ඇට දෙකක් දාගෙන අරන් එනකම්"

කිව්වේ ආදරෙන් මගේ ඔලුව අතගාන ගමන් . . . දෙන්නෙකුට තියා එක්කෙනෙකුටත් බඩ පිරෙන තරමට කන්න මදි පොඩි රෝස් පාන් ගෙඩිය වම් අතිනුත් තේ කහට දැමූ කහට ගැහුනු ඇල්මිනියම් කෝප්පෙ දකුනු අතිනුත් ගත්තු අම්මා එලියේ තබා තිබුනු පුංචි බංකුවේ වාඩි වෙලා මාව අම්මගේ ඔඩොක්කුවේ වාඩි කරන් පොඩි පොඩි රෝස්පාන් කෑලි කඩ කඩා තේ වතුරේ පොඟවමින් මට කැව්වේ මගේ ඔලුව විඩෙන් විඩේ ඉඹින ගමන් . . .

උදේ ඉඳන් කෑමට මොකුත් නොතිබෙන්න ඇති බව දැනගෙන උන්නු නමුත් . . පාන් කෑලි පහක් විතර මගේ කටට යන කොටත් අම්මගේ කටට එකක් විතරක් යන එක ගන

"අම්මත් කන්නකො . . මට විතරක් කවන්නේ "

කියා නොකිව්වේ එහෙම වුනොත් මගේ බඩ පිරෙන්න කන්න නොලබෙයි කියලා හිතු නිසා වෙන්න ඇති කියලා හිතුනු මට මා ගැනම උපන්නේ මහාම මහා පිලිකුලක් . . . බෙල්ලට වැටුනු සීතලත් නොවන රස්නෙත් නොවන වතුර බින්දුවක් නිසා මොකද්දැයි බලන්න බෙල්ල හරවා බැලූ මා දුටුවේ අම්මගේ දෙනෙත දිගේ නිදහසේ රූරා වැටෙන කඳුළු බිංදු. . .මගේ බෙල්ලට වැටෙන්න ඇත්තේ එයින් එකක් බව පුංචි මට වහා තේරුම් යන්න ඇති . . .

"ඇයි අම්මේ . . ඇයි මගේ අම්මා අඬන්නේ . .. ?"

"අනේ එයා හිටියා නම් . . . "

අම්මා කිව්වේ කෙඳිරිලි හඬකින් බව මතක් වුනු මගේ දෙසවන් මහා ගෝසාවකින් පිරුනා වගේ මට දැනුනේ . . .

"කව්ද අම්මේ එයා . . "

කියා මා ඇසූ පැනයට එක්වරම පිළිතුරක් නොදුන් අම්මා මගේ දිහා ඇස් පිය නොගසා බලා හිටියේ . . . දසමාසයක් කුසේ දරන් ඉඳපු තමන්ගේ ලේ කැටි බිළිඳා බිහිකරන්න තමාට උදව් කරන්න සැරසෙන වින්නඹු අම්මා දෙස "මේ ඇත්ති මට මගේ විශ්වාස කරන්න පුලුවන්ද" කියා සිතනු වැනිව මෙතුවක් කාලයක් කිසිවෙකුටත් නොපැවසූ යමක් . . සිතේ ගුලිකරගෙන තනිවම වේදනා විඳි යමක් පැවසීමට තරම් මා විශ්වාස කලහැකිදැයි සිතන්න මෙන් . . .
ගඳ ගහන මුඩුක්කුවේ ජීවත් වූ අප්පා ඇරුනාම ඈට කරුනාවෙන් සැලකූ එකම මනුස්ස ප්‍රානීන් දෙදෙනා වූ . . අව්වට මල් පිච්චුනු රතු පාටට හුරු සාරියක් ඇඳන් කුඩේකුත් අත්බෑගයකුත් අරන් . . තොල්දෙකේ රතුපාට උලාගෙන හවසට එලියට බහින ලයනල්ගේ අම්මා වූ කල්‍යානි නැන්දා . .

"සුවර්නෝ මට ලූනු බෑයක් දියන් කෙල්ලේ . . . අද මට හරිම විසේකාර අවුරුදු හැටක විතර කොළු ගැටයෙක් මාට්ටු වුනානේ බං . . . එලිවෙන කම් ඌ එක්ක හිටියොත් පන්සීයක් දෙනවා කිව්ව වුනත් උදේ ඉඳන් පාන් කෑල්ලක් වත් නොකා ඉන්න කොල්ල ගැනයි . .
කෝච්චියේ පික් පොකට් ගහනන් ගිහින් මාට්ටු වෙලා කෝච්චියෙන් පැනලා කකුල් දෙකම කඩා ගත්ත වුනත් නමට හරි වාහේ වෙච්චි  ලයනල් ගේ මහ එකායි ගැන හිත උනුවෙලා ඒකා දුන්නු රුපියල් සීය ගුලි කරගෙන අවේ මුන් දෙන්නට කන්න දෙයක් රත් කරලා දීලා යන දේවාලෙක යන්න කියලා බං . .
තදියමට මට ලූනු ටිකක් ගන්න බැරි වුනා . . "

යි කියන තරමට ඈට හිතවත් වුනා වුවත් . . . කලවේ  කොටපු  “පුක දෙනවද?? වෙඩි කනවද??” පච්චය පේන්නත් කසිප්පු බිස්නස් එකට අමතර ආදායම් මාර්ගයක් වූ ගංජා වෙලඳාමේ ජංගම ගබඩාව වූ ශිපර් දමා මැසූ යට කලිසම පේන්නත් තරමට සරම දනහිසෙන් අඩියක් තරම් උඩට උස්සගෙන පාරේ ගමන් කරන නීල් මාමා හැමදාම උදේට දොරකටට විත්

" සුදු මැනිකේ . . මට ගින්දර ටිකක් දියන් රත්තරන් නංගියේ . . . උදේම උඹේ මූන දැක්ක දවසට බිස්නස් එක වාසී නංගියේ . . "

කියා ඈට සෙනෙහස දැක්වූවා වුනත් . . .  ඒ කිසිවෙකුට මෙතෙක් නොපැවසූ යමක් මට කීමට මගේ විස්වාසවන්තභාවය ගැන සහතිකයක් ලබාගැනීමට මෙන් මා දෙස විනාඩි ගනනක් බලා සිටි අම්මා අන්තිමට

"එයා තමයි මට ජීවිතේ ඉගැන්නුවේ පුතේ . . . . එයා තමයි මට ලෝකය දකින්න ඉගැන්නුවේ . . "

කියා ඉදිරිය බලාගෙන කීවේ මට ඇහෙන්න නොව හිස් අවකාෂයට එහායින් වූ වෙනත් ලෝකයක කිසියම් කෙනෙකුට ඇහෙන්න කියනාක් මෙන් . ..

"රදා වඩු ගෙදර රංජිත් . . . හ්හ්හ්ම්ම්ම් . . . " වලව්වේ මහන්තත්ත කමින් ඔලුව උදුම්මගෙන හිටපු ස්වර්ණා මැනිකේගේ ඇතුලේ හුලං විතරක් තිබුනු බැලුම් බෝලයක් වගේ තිබුනු ඔලුව ආදරයෙන් කරුනාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් පුරවපු රංජිත් . . .

"හුලං හමන්නේ අපිට ගීතයකුත් මුමුනමින් කියලා මට කියලා දුන්නේ එයයි පුතේ . . .
මල් පෙති වල වුනත් කවි ලියන්න පුලුවන් කියලා මට ඉගැන්නුවේ එයයි . . . සමනලුන්ගේ අතේ පැනි කුරුල්ලන්ගේ අතේ පෙම් පනිවිඩ යවන්න මට ඉගැන්නුවේ එයයි . . . "
"වෙනදට ගෙදරට ආවම මම මූන වත් නොබලන රෙදි නැන්දට . . එන්න නැන්දේ . . තේ එකක් කාරිය බොමුද . . ? කිව්වාම අපේ අම්මා මගෙ දිහා බැලුවේ මාව ගිලින්න වගේ . . "
"අක්කගේ මගුලට නැකැත් හදාගෙන ආපු රන්නා ගුරුන්නාන්සේට . . ඈඳි ගන්න මාමේ . . කිව්වයි කියලා අම්මයි අක්කලයි මාව මරාගෙන නොකෑවා විතරයි . . ."
"ඔය ඔක්කොම දේවල් කරන්න තරම් නිහතමානි වෙන්නත් . . ඕනෑම දේකට මූන දෙන්න තරම් මගේ හිත හයි හත්තිය ඇති කලේත් එයා තමයි . . . "
"රංජිත් ගැන දැනගෙන තෝව ඔය ඉගෙන ගන්න කියලා යැව්වේ අඩු කුලේ එකෙක්ට දීග දෙන්න නෙමයි කියලා මට අම්මයි අප්පච්චියි තඩිබාන කොට . . .

උඹලා මහා ලොකු බෞද්ධයෝ . . ඒත් මිනිහෙක් උපතින්ම වසලයෙක් හරි බ්‍රාහ්මනයෙක් හරි වෙන්නේ නෑ තමන් කරන දේවලිනුයි ඒක තීරනය වෙන්නේ කියපු බුදුහාමුදුරුවොත් විකුනන්න පුලුවන් නම් විකුනයි මුදලි පරම්පරාවක එකෙක් ආවානම් . . .

කියලා මට අම්මල එක්ක රන්ඩුවෙන්න හයිය තිබුනේ එයා මට උගන්නපු දේවල් නිසා . . ."


"වාසගම බලලා යාලුවෝ තෝරගන්න පුරුදු වෙලා හිටි මගේ හිත එයා වෙනක් කලේ හරිම පුදුම විදීහට . . .
බුදු හාමුදුරුවෝ ශාක්‍යන්ගේ මාන්නේ බිඳපු හැටි එයා කිව්වේ මට ඇහෙන්න මගේ යාලුවෙකුට . . .
ක්ෂුද්‍රයන්ගේ ගෙයකින් දානේ වැලඳුවයි කියලා දෙතෝදන - සුදෝධන රජතුමාගේ මල්ලී කිව්වලු බුදු හාමුදුරුවන්ට අනේ අපේ කුලේ කිසි කෙනෙක් උන්ගේ ගෙවල් වලින් කනවා බොනව තියා ඒ පැත්ත වත් බලන්නේ නෑ ඇයි ඔබ තුමා අපිට මෙහෙම අපහාස කරන්නේ කියලා . .

බුදු හාමුදුරුවෝ ඇහුවලු ඔබතුමන්ලාගේ ප්‍රධාන කෑම ජාතිය මොකද්ද කියලා . .

පහල තියෙන කුඹුරු යායෙන් ලබා ගන්න හාල් වලින් ඉදෙන බත් කිව්වලු .  

ක්ෂුද්‍රයො ජීවත් වෙන්නේ කොහෙද කියලා අහුවලු . . . කුඹුරු යාය කිට්ටුව පහත්බිමේ කිව්වලු . . . . .

ඒ අය කක්ක කරන්නේ කොහේද කියලා ඇහුවලු . . .

වැසිකිලි පහසුකම් නැති උන් තැන් තැන් වල ඒ වැඩේ කරනවා ඇත්තේ කියලා කිව්වලු . . .

වැස්සට ඒ අයගේ ජරාව එකතු කරගෙන ගිහින් ඒවා රැඳෙන්නේ කුඹුරෙනේ . .

ඉතිං ඒ අයගේ ජරාවෙන් සරුවට වැවෙන හාල් වලින් හදන බත් කන්න හොඳයි නම් ඒ අයගේ ගෙදරකින් දුන්නු කෑමක් කෑවට මක් වෙනවද කියලා බුදු හාමුදුරුවෝ ඇහුවලු . ..


එයාව වාහනයකට හප්පලා කවුදෝ මරලා දාලා කියලා උඩුනුවර මාමා ඇවිත් කිව්ව දවසේ අපේ අප්පච්චිගේ මූනේ තිබුනු හිනාව මට කවදාවත් අමතක කරන්න බෑ පුතේ . . .

උන් එයාව මරා දැම්මා . . .

වංශේකබල් ගාන . . .

බුද්දාගමේ කියන්නත් ලැජ්ජ මහ ලොකු බෞද්ධයේ වෙච්චි උන් එයා අඩුකුලේ එකෙක් වෙලා වලව්වේ කෙල්ලෙක්ට ආදරේ කල පවට . . .

උන් එයාව මැරුවා පුතේ . .

එයාගෙන් මට ලැබුනු වටිනාම වස්තුව අරගෙන වලව්වේ මට හිතවත්ව හිටපු එකම එක මනුස්සයා එක්ක ඒ අපායෙන් ගැලවිලා එනවා මිසක් මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ පුතේ . . 

අනේ එයා හිටියානම් උඹට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නෑ මගේ රත්තරන්….


කියූ අම්මා මහා හඬින් අඬමින් තැන් තැන් වල අන්ඩ දැමූ චීත්තයෙන් කඳුලු පිසූ  සැටි සිහිවූ මට මේ මොහොතේදී  එදා පොඩි එකා අද පොඩි එකෙක් නොවුනත් එදා අම්මා දැවූ වේදනාව වෙනුවෙන් ඇගේ ඒ වේදනාවට ඉකිබිඳ හඩන්නද . . .

අම්මගේ අප්පච්චි වූ මුහන්දිරම් රාළහාමිට වෛර කරනවාද . . . කියා සිතා ගත නොහැකි වූ වෙනස් හැඟීම් දෙකක් එක් වරම මාව පෙලනවා වගේ දැනුනා . ..

අමුතු කතාවේ 9 කොටස ලිව්වේ
දුකා

http://dukaa.blogspot.com

Tuesday, January 19, 2010

අමුතු කතාව 8 කොටස

"මම බයවුන තරමක්"

"සිවා මොකද බං මේ මහ රෑ.."

මම ඇහුවෙ සිවා බයකරපු බය කිරිල්ලට තාම පපුව ඩිග් ඩිග් ගාන එක දැන් නැවතෙයි දැන් නැවතෙයි කියල හිතන ගමන්..

"මචං හදිසියක්.. මේ අටම‍ගලෙ තව කිලෝමීටරයක් යන්න ඩීසල් නෑ.."
"ඉතිං.."

"බලපංකො ඇතුල.."

"හත්දෙයියනේ සෝමෙ අයියෙ මේ මොකද වුනේ"

"උඹ මහ පුදුම බූරුවෙක්නෙ සිවො.. මේ ජල්බරි අස්සෙද උඹ අර ‍ගොන් ආතල් එක ගත්තෙ"


අන්තිමට මම සිවා එක්ක එතෙක් තිබුන තරහා පිටකරගත්තෙමි..

නලලින් පටන්‍ ගෙන මුළු මුහුණ පුරාම ලේ දහරා ඇඳී තිබූ සෝමෙ අයියාගේ ඇස කරාද ලේ පාරක් පැමිණ තිබුනි. මල්ෂිගේ රෝස පැහැති කුඩා ලේන්සුව සෝමෙ අයියාගේ තට්ටය හා නලල පුරා දිවගියේ එය රෝස පැහැ තිත් වැටුණ රතුපාට ලේන්සුවක් බවට පත්කරමිනි.

"බයික් එකක හැප්පිලා පාරෙ ඔළුව වැදුනා. ඌ බීලා හිටියෙ පොලීසියට අහුවුනානම් අම්බානක චාටර් වෙන හින්දා මම ඌට යන්න ඇරියා"

සෝමෙ අයියා වේදනාව මැදින් කෙඳිරි ගෑවේය.

"නගින්න කාර් එකට යං හොස්පිටල්"

   
.........................................................................

සෝමෙ අයියාට නින්ද ගොස් තිබූ නිසා මල්ෂී රෑ දෙගොඩහරියට පෙර පිටත් කර හැර මම බිත්තියට හේත්තු වූ පසු මම මගේ අතීතයට ඇදීගියේ අතහැරල දාපු පින්තූරයක් ආයි දූවිලි ගසල දාලා මගේ ඉදිරියේ මතුවුන නිසා වෙන්න ඇති.
ගුණසේන එකේ වැඩට ආපු දවසෙ ඉඳන් මේ වෙනකම් මගේ ජීවිතයේ සිද්ද වුන දේවල් එකින් එක ස්මරණය වෙන්න ගත්තෙ ඇතුලෙ නිදියගෙන ඉන්න සෝමෙ අයියත් ඇයත් ඒ හැම සිද්ධියකම පිටිපස්සෙ සිටින නිසා නෙමෙයි කියන්න තරම් ආත්මාරථකාමීත්වයක් මට තිබුනෙ නෑ.

පොත්හලේ ප්‍රධානියා සෑම් සර්ට මගේ නමටත් ජාතියටත් වඩා ‍මගේ වැඩකිරීමේ හැකියාව වැදගත් වුන හින්ද ඊට ‍පස්සෙ දවසෙ ඉඳන් මම ගුණසේන පොත්හලේ සහයකයෙක් විදිහට වැඩ කරන්න ගත්තා. පලවෙනි රැය පොත් වල තීන්ත, කඩදාසි සුවඳ එක්ක ගෙවිලා ගියාට පස්සෙ දෙවනි දවසෙ ඉඳන් මගේ ජීවිතයට එකපාරටම ක‍ඩාපාත්වුන සෝමෙ අයියගෙ බංගලාව වුන ස්ටෝරුව වත්තෙ පහේ පේළියෙ තුන්වන ලෑලි ගෙදර මගේ වාසභවන වුනා.

"උඹ අනුරාධ කිව්ව නේද"

"ඔව් සෝමෙ අයියෙ"

"අනුරාධ අනිත් න‍ම"

"නදියවරන් සෝමෙ අයියෙ"

යකෝ හැම වචනෙම අන්තිමට සෝමෙ අයියෙ.. සෝමෙ අයියෙ.. කියල උඹ ම‍ට මගේ නමත් එපාකරවන්නද හදන්නෙ.

"හරි සෝමෙ අ....."

"‍අවුලක් නෑ ඕනි මගුලක් කියපං කොහොමත් ඕක මම දාගත්ත නමක් නෙමෙයිනෙ මටත් ඔය නම පේන්න බෑ කොහොමත් අදාල වෙන්නෙ මල මගුල් ජාතියවත්, ආගමවත්, නමවත් නෙමෙයිනෙ.. ඉතිං නදිය‍වරන් කිව්වෙ උඹ දෙමලද"

"එහෙමත්ම නෑ"

"එහෙනං"

මම මගේ අමිහිරි ජීවන තනුව සෝමෙ අයියා ලඟ වාදනය කිරීම ඇරඹීය. සෝමෙ අයියාට මම ගැන දුකක් ඇතිවීද අනුකම්පාවක් ඇතිවීද යන්න මට අදටත් තේරුම් නොයාමට තරම් සෝමෙ අයියාගේ හැඟීම් ප්‍රකාශනය සංකීර්ණය. කෙසේ නමුත් මම එදා සිට සෝමෙ අයියාගේ බංගලාවේ කාමරයකට අයිතිවාසිකම් දරමි.

ජීවිතය රතුපාටද, කොලපාටද, කියල මට එකපාරටම කියන්න බැරිවුනත් කළුපාට ජීවිතයක් කොයිවගේද කියල මම දැනගෙන හිටියා. ඉඳහිට කඩේට එන සුන්දරියක් පෙන්වා "පට්ටයි නේද බං" කියල සෝමෙ අයිය මාව කෙනිත්තුවත් ආදරයක බරක් ඔළුව උඩ තියාගන්න තරම් මගේ කශේරුකාව හයිවෙලා තිබුනෙ නෑ.. අහම්බෙන් හතර පස් වතාවක් එකම රුවක් නෙත ගැටුනත් හිත ඇතුලෙ ආදරය කියන් හිස් ටින් එකේ පියන වහගෙන හිටපු හින්ද මම ඒක එහෙමම ලොප් කරගත්තා..

"අයින් වෙන්ඩෝ... අයින් වෙන්ඩෝ..."

ඇඳක් තල්ලුකරගෙන මාව පහුකරගෙන යන ඇටෙන්ඩන්ලා දෙදෙනාගේ කෑගැසීමෙන් දැහැනෙන් මිදුන මම කම්මැලි කමට එලියට බැස්සෙ හුලං පාරක් වදින්නත් එක්ක.
තාම ගලවල දාන්න බැරිවුන ජාතික කොඩියක් රෝහල් ගේට්ටු කණුවේ ලෙලදෙනවා.

සෝමෙ අයිය එක දවසක් කියපු කතාවක් මට මතක් වුනා.

"ඔය සිංහයා කඩුවෙන් බෙල්ල කපාගෙන මැරිච්ච එකෙක්. ඔය වටේටම තියෙන්නෙ සිංහයගෙන් ගලන කුණු ලේ ඔය ලේ ටික උතුරලා දවසක බෝ කොළ හතරත් යටකරගෙන වාන් දානව බං"

සෝමෙ අයියත් මාර පොරක්...

මට එහෙම හිතුනා

‍‍රෝහල ඉදිරිපිට අරලිය ගස යට බංකුවේ වාඩ්වුන මට මෙච්චර වෙලා කුයිල ගඳේ පෙනහළුවල ඇතුලෙ හිරවෙලා තිබුන හුස්ම ටික පිටකරලා දැම්මා. ඈත ගර්භනී මවක් වත්තන් කරගෙන ඇගේ සැම්යා ත්‍රීවිලයකින් බිමට බසියි. වේදනාව මැදින් වුවද ඇගේ මුහුනේ මදහසක් රැඳී ඇත.

අම්මත් මම ඉපදෙන කොට මෙහෙම එන්න ඇති.

මම නැවතත් අතීතයට එබුනා..

අමුතු කතාවේ 8 කොටස ලිව්වේ
ආගන්තුකයා

http://www.ambarox.blogspot.com
http://www.ecolama.blogspot.com
http://pothrakke.blogspot.com

 

Thursday, January 14, 2010

අමුතු කතාව 7 කොටස

ඈතට යන රුව එකවරම නැවතිණ. ඒ පාර මාරුවීම සඳහා බව අනුමාන කරන්න ට මට වැඩිවෙලා ගියේ නැත. මේ රුව පාර මාරුවෙන්නේ එහා පැත්තේ තිබෙන රථයට නැඟීම ට බව ඉවෙන් මෙන් දැනුන නිසා මම පාර වම් පැත්තට ඒ රුව ඈත දීම පැනගතිමි.
පපුව ගැහෙන සද්දෙ ට හදවත් කැඩී විසිවෙන තරමට වේගවත් වුව.., මගේ අවිදුර දෘෂ්ටික බව නිසා මට රුව ළඟ ට ම යාමට අවැසි විය.

බෝට්නෙක් ටීෂර්ට්ටුවත්, ත්‍රී ක්වාටර් ඩෙනිමත් මට ගෙන ආවේ සුපුරුදු බවකි. එයට ගූචි කොලොන් සුවඳ ද එකතැන්වූ විට මැවෙන්නේ මට ස්වර්ගයක් වූ ඇයව ය.

ත..තමරී...?

කාරයේ දොරට යතුර ඔබන්නට උත්සාහ කරමින් සිටි ඇය මා  දෙස බලා සිටියේ ගල් ගැසී ය.

දෙයියනේ ඔයා...?

තරුණියට වදන් ගලපා ගන්නට ද අමාරු ය. දෙවුලොවින් බට දෙව්ලියක බඳු ඈ මිහිපිට පෙරේතයෙකු වැනි වූ මාව අඳුනා ගන්නට වැඩිවෙලා ගියේ නැත.

දෙයියනේ අනූ ඔයා..? ඔයාට මොකද උනේ දරුවෝ..? ඇයි මාව දාලා ගියේ.., මම මොනතරං ඔයාව හෙව්වද? මම කීපාරක් ගුණසේන එකට මෙහෙ ඉඳන් ගියාද ඔයාව හොයන්න...? ඇයි මාව මේ විදියට මඟ අරින්නේ..?
මාව ඔයාට එපාවෙලාද අනූ ?

මෙතුවක් කාලයට මට වූ දේ වැකි දෙකකින් කිවිය හැකි වුවත් මට මේ දෙව්ලියව තවත් මනසින් වට්ටන්නට මේ වේලාවේ දී උවමනාවක් ඇත්තේම නැත.

ඔයා මේ රෑ කොහෙද යන්නේ..?

මගේ යාලුවෙක් ගේ අක්කගේ වෙඩින් එක..; මම ඒකට ආව උදව් වෙන්න.
මේ රෑ කොහෙද යන්නේ දැං..?
මගේ අපාර්ට්මන්ට් එක ට.

ඒ කියන්නේ ඔයා...?


ඔවු මම දැං ඉන්නේ තනියම.., මට දැං ඉන්නේ මම විතරයි. තාත්තා ගේ ජීවිතේ දේශපාලනේ. මං ගාව හිටියේ අම්මා විත්තිය ඔයා දන්නවා නේ..?

මට අමතක වෙන්න විදියක් ඇත්තේ ම නැත. එක දුරුතු මසකදී ගුණසේන එකෙදී මට ඈව හමු වූයේ ඈ මව හා සිටියදී ය. මවද ඈ මෙන් ම කරුණාබර කතකි.

කොහොමද දැන් අම්මට..?

මම ඇසීමි. ඇය හැරුනුවිට මා වඩාත් ආලය කරන ගරුකරන අයෙකු ගැන මට අසන්නට ඇත්තේ එපමණකි.

අම්ම අන්තරා උනා අනුරාධ. ඒකයි මට මෙහෙම උනේ.., ඒකයි මම තනියම ඉන්නේ..!

ජීවන අංකුරයක ට ඒ මව්වත් වෘක්ෂයේ පහස නැති වී ගිය විට ඇතිවනා දොම්නස දැන නොගන්නට  මම මෘගයෙකු තත්ත්වය ට පත්වී නැත්තේ මම ද මේ වැනිම හේතු කාරකයකට මුහුණ දී ඇති නිසාවෙනි.

මට සමාවෙන්න තමී.., මම කවදාවත් හිතුවේ නෑ අම්මා මේ තරං ඉකමනට ඔයාව දාලා යයි කියලා..

ඒක දිගකතාවක් අනුරාධ.., කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා කියන්න බැරිතරම් පැටලිච්ච.

ඈ හිස් අහස දෙස බලාන අනිමිස ලෝචනයේ ය.

හරි මේ අහන්න තමී.., දැන්  යන්න ඔයා ඉන්න අපාර්ට්මන්ට් එකට.

මට යන්න හදිස්සියක් නෑ අනූ.., අනික මම දැන් ස්වාධීන කෙල්ලෙක් නිසා මට මම කැමති වෙලාවක කැමති තැනක යන්න ඉඩ තියෙනවා.
තවදෙයක්...,
මොකද්ද..?
මම  ඔයාව මේ සැරේ හමුවුනේ ආයිත්  ඈත්වෙන්න බලාගෙන නෙවී. තේරුනාද?
මේ මගේ නොම්මරේ ..,

ඈ පෑනක් ගෙන මගේ අතේ නොම්මරය ලිව්වාය.

මේක පරිස්සම් ඇති තැනක ලියල තියා ගන්න.., තේරුනාද?

පෙම්වත් කතාවක ට හිත නවන්නට හද පෙරමඟ බැලුවත් විජේතුංග මංත්‍රීතුමා තම දියණියගේ අනාගත අභිවෘධිය තකා මා හා එතුමා අතර වූ පොරොන්දුව නිසා, මා සිටින්නේ දෙලොවක් අතරය.

තම දියණියගේ ආදර සබඳතාව  ගණිකා වෘත්තියේ යොදවා තම දේශපාලන ලොව ඉලක්ක ජයග්‍රහනය කරන්න ට වෙරදරන පියෙකු ගැන අසා ඇත්තේ මොන ලොවේද?
එහෙත් මේ ගතවන විනාඩියෙත් මේ සිරි සද්ධර්මද්වීපය තුල එක නිවෙසක වෙමින් පවතින්නේ ද මේ ඛේදවාචකය ම ය.

මොනවද ඔයා කල්පනා කරන්නේ අනූ..?
තමරී මා උරහිසට අත තබා කියත්ම ඇගේ රථයට මුහුණලා නැවතූ කොරොල්ලා මෝටර් රථයේ දොර තුලින් වීදුරුව පහත් වී එලියට ආවේ තරබාරු හිසකි..

අනුරාධ මල්ලී….., මොකද ඔතන කරන්නේ..?
කවුද ඔය ඉන්නේ.?

යුවතිය අසුරුසැනින් හැරී බැලූවිට දුටු දෙයින් තැති ගෙන මා අත අල්ලාගත්තේ නොදැනුවත්ව ම ය.

දෙයියනේ......?

අමුතු කතාවේ 7 කොටස ලිව්වේ
පිස්සා
http://pissa-pissublog.blogspot.com