Tuesday, January 26, 2010

අමුතු කතාව 9 කොටස

අතීතයේ අඳුරු අහුමුලු පීරමින් සොයද්දී එක තැනක ඉඳන් තව තැනකට සීරුවෙන් අඩිය තියමින් යන ගමන් ලයනල් කියපු

"උඹ තාත්ත කියන්නෙ උඹලගෙ තාත්තට නෙවෙයි."

කියලා කියපු දේට සම්බන්ධයක් තියෙන දෙයක් ගැන පුංචි මතකයක් . . . මතකයේ නොරැඳෙන තරම් පුංචි කාලයේ සිදුවූ සිදුවීමක මතකයක් මේ දැන් දුටුව දරුප්‍රසූතියට රෝහලට ත්‍රීවීලයෙන් පැමින වේදනාව අතරින්ම මුවේ මඳහසක් නඟාගෙන බැස්ස මාතාවගේ දර්ශනය හරහා ආයාසයෙන් මතකයට නංවාගන්න උත්සාහ කිරීමේදී දෝරගලා ආවේ හරියට හිරකරලා තිබුනු වතුර පාරක් වක්කඩක් කැඩුවා වගේ වේගයෙන් . ..

දිනක් පාසැල් ඇරිලා සුපුරුදු පරිදි කුනු ගඳ ගහන කානුව පහුකරන් බාගෙට වැහිලා තිබු ලෑලි දොර ඇරගෙන ගෙදර ඇවිත් පොත් ටික . . . කෑම උයද්දී ප්‍රයෝජනයට ගන්නත්, උයපුවා හෝ හදපු රොටී දෙක ප්ලාස්ටික් පිඟානකින් වහලා තියන්නත්, මගේ පොත් කීපය තියා ගන්නත්, මට පාඩම් වැඩ කරන්නත් ආදී සියලුම දේ වෙනුවෙන් අපේ දිරාගිය ලෑලි ගෙදරට තිබුනු එකම මේසය උඩින් තියා පාසැල් අඳින මගේ එකම කලිසමයි කමිසෙයි ගලවා දමා අන්ඩ දැමූ කොට කලිසම ඇඳගෙන ආපහු දිව්වේ මුඩුක්කු පේලියේ අනිත් ලමයින් එක්ක සෙල්ලම් කරන්න . ..

හති වැටෙන කම් සෙල්ලම් කල මම නිවසට ආවේ කුසගින්න තවදුරටත් ඉවසා ගන්න නොහැකි බව දැනුනු පසුවයි . .

"අම්මේ බඩගිනී. . ."

කියාගෙන ලිපට පිඹිමින් උන්නු අම්මා ලඟට ගිය ගමන්

" පොඩ්ඩක් හිටපන් පුතේ . . මම මේ කහට කෝප්පයක් හදලා සීනි ඇට දෙකක් දාගෙන අරන් එනකම්"

කිව්වේ ආදරෙන් මගේ ඔලුව අතගාන ගමන් . . . දෙන්නෙකුට තියා එක්කෙනෙකුටත් බඩ පිරෙන තරමට කන්න මදි පොඩි රෝස් පාන් ගෙඩිය වම් අතිනුත් තේ කහට දැමූ කහට ගැහුනු ඇල්මිනියම් කෝප්පෙ දකුනු අතිනුත් ගත්තු අම්මා එලියේ තබා තිබුනු පුංචි බංකුවේ වාඩි වෙලා මාව අම්මගේ ඔඩොක්කුවේ වාඩි කරන් පොඩි පොඩි රෝස්පාන් කෑලි කඩ කඩා තේ වතුරේ පොඟවමින් මට කැව්වේ මගේ ඔලුව විඩෙන් විඩේ ඉඹින ගමන් . . .

උදේ ඉඳන් කෑමට මොකුත් නොතිබෙන්න ඇති බව දැනගෙන උන්නු නමුත් . . පාන් කෑලි පහක් විතර මගේ කටට යන කොටත් අම්මගේ කටට එකක් විතරක් යන එක ගන

"අම්මත් කන්නකො . . මට විතරක් කවන්නේ "

කියා නොකිව්වේ එහෙම වුනොත් මගේ බඩ පිරෙන්න කන්න නොලබෙයි කියලා හිතු නිසා වෙන්න ඇති කියලා හිතුනු මට මා ගැනම උපන්නේ මහාම මහා පිලිකුලක් . . . බෙල්ලට වැටුනු සීතලත් නොවන රස්නෙත් නොවන වතුර බින්දුවක් නිසා මොකද්දැයි බලන්න බෙල්ල හරවා බැලූ මා දුටුවේ අම්මගේ දෙනෙත දිගේ නිදහසේ රූරා වැටෙන කඳුළු බිංදු. . .මගේ බෙල්ලට වැටෙන්න ඇත්තේ එයින් එකක් බව පුංචි මට වහා තේරුම් යන්න ඇති . . .

"ඇයි අම්මේ . . ඇයි මගේ අම්මා අඬන්නේ . .. ?"

"අනේ එයා හිටියා නම් . . . "

අම්මා කිව්වේ කෙඳිරිලි හඬකින් බව මතක් වුනු මගේ දෙසවන් මහා ගෝසාවකින් පිරුනා වගේ මට දැනුනේ . . .

"කව්ද අම්මේ එයා . . "

කියා මා ඇසූ පැනයට එක්වරම පිළිතුරක් නොදුන් අම්මා මගේ දිහා ඇස් පිය නොගසා බලා හිටියේ . . . දසමාසයක් කුසේ දරන් ඉඳපු තමන්ගේ ලේ කැටි බිළිඳා බිහිකරන්න තමාට උදව් කරන්න සැරසෙන වින්නඹු අම්මා දෙස "මේ ඇත්ති මට මගේ විශ්වාස කරන්න පුලුවන්ද" කියා සිතනු වැනිව මෙතුවක් කාලයක් කිසිවෙකුටත් නොපැවසූ යමක් . . සිතේ ගුලිකරගෙන තනිවම වේදනා විඳි යමක් පැවසීමට තරම් මා විශ්වාස කලහැකිදැයි සිතන්න මෙන් . . .
ගඳ ගහන මුඩුක්කුවේ ජීවත් වූ අප්පා ඇරුනාම ඈට කරුනාවෙන් සැලකූ එකම මනුස්ස ප්‍රානීන් දෙදෙනා වූ . . අව්වට මල් පිච්චුනු රතු පාටට හුරු සාරියක් ඇඳන් කුඩේකුත් අත්බෑගයකුත් අරන් . . තොල්දෙකේ රතුපාට උලාගෙන හවසට එලියට බහින ලයනල්ගේ අම්මා වූ කල්‍යානි නැන්දා . .

"සුවර්නෝ මට ලූනු බෑයක් දියන් කෙල්ලේ . . . අද මට හරිම විසේකාර අවුරුදු හැටක විතර කොළු ගැටයෙක් මාට්ටු වුනානේ බං . . . එලිවෙන කම් ඌ එක්ක හිටියොත් පන්සීයක් දෙනවා කිව්ව වුනත් උදේ ඉඳන් පාන් කෑල්ලක් වත් නොකා ඉන්න කොල්ල ගැනයි . .
කෝච්චියේ පික් පොකට් ගහනන් ගිහින් මාට්ටු වෙලා කෝච්චියෙන් පැනලා කකුල් දෙකම කඩා ගත්ත වුනත් නමට හරි වාහේ වෙච්චි  ලයනල් ගේ මහ එකායි ගැන හිත උනුවෙලා ඒකා දුන්නු රුපියල් සීය ගුලි කරගෙන අවේ මුන් දෙන්නට කන්න දෙයක් රත් කරලා දීලා යන දේවාලෙක යන්න කියලා බං . .
තදියමට මට ලූනු ටිකක් ගන්න බැරි වුනා . . "

යි කියන තරමට ඈට හිතවත් වුනා වුවත් . . . කලවේ  කොටපු  “පුක දෙනවද?? වෙඩි කනවද??” පච්චය පේන්නත් කසිප්පු බිස්නස් එකට අමතර ආදායම් මාර්ගයක් වූ ගංජා වෙලඳාමේ ජංගම ගබඩාව වූ ශිපර් දමා මැසූ යට කලිසම පේන්නත් තරමට සරම දනහිසෙන් අඩියක් තරම් උඩට උස්සගෙන පාරේ ගමන් කරන නීල් මාමා හැමදාම උදේට දොරකටට විත්

" සුදු මැනිකේ . . මට ගින්දර ටිකක් දියන් රත්තරන් නංගියේ . . . උදේම උඹේ මූන දැක්ක දවසට බිස්නස් එක වාසී නංගියේ . . "

කියා ඈට සෙනෙහස දැක්වූවා වුනත් . . .  ඒ කිසිවෙකුට මෙතෙක් නොපැවසූ යමක් මට කීමට මගේ විස්වාසවන්තභාවය ගැන සහතිකයක් ලබාගැනීමට මෙන් මා දෙස විනාඩි ගනනක් බලා සිටි අම්මා අන්තිමට

"එයා තමයි මට ජීවිතේ ඉගැන්නුවේ පුතේ . . . . එයා තමයි මට ලෝකය දකින්න ඉගැන්නුවේ . . "

කියා ඉදිරිය බලාගෙන කීවේ මට ඇහෙන්න නොව හිස් අවකාෂයට එහායින් වූ වෙනත් ලෝකයක කිසියම් කෙනෙකුට ඇහෙන්න කියනාක් මෙන් . ..

"රදා වඩු ගෙදර රංජිත් . . . හ්හ්හ්ම්ම්ම් . . . " වලව්වේ මහන්තත්ත කමින් ඔලුව උදුම්මගෙන හිටපු ස්වර්ණා මැනිකේගේ ඇතුලේ හුලං විතරක් තිබුනු බැලුම් බෝලයක් වගේ තිබුනු ඔලුව ආදරයෙන් කරුනාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් පුරවපු රංජිත් . . .

"හුලං හමන්නේ අපිට ගීතයකුත් මුමුනමින් කියලා මට කියලා දුන්නේ එයයි පුතේ . . .
මල් පෙති වල වුනත් කවි ලියන්න පුලුවන් කියලා මට ඉගැන්නුවේ එයයි . . . සමනලුන්ගේ අතේ පැනි කුරුල්ලන්ගේ අතේ පෙම් පනිවිඩ යවන්න මට ඉගැන්නුවේ එයයි . . . "
"වෙනදට ගෙදරට ආවම මම මූන වත් නොබලන රෙදි නැන්දට . . එන්න නැන්දේ . . තේ එකක් කාරිය බොමුද . . ? කිව්වාම අපේ අම්මා මගෙ දිහා බැලුවේ මාව ගිලින්න වගේ . . "
"අක්කගේ මගුලට නැකැත් හදාගෙන ආපු රන්නා ගුරුන්නාන්සේට . . ඈඳි ගන්න මාමේ . . කිව්වයි කියලා අම්මයි අක්කලයි මාව මරාගෙන නොකෑවා විතරයි . . ."
"ඔය ඔක්කොම දේවල් කරන්න තරම් නිහතමානි වෙන්නත් . . ඕනෑම දේකට මූන දෙන්න තරම් මගේ හිත හයි හත්තිය ඇති කලේත් එයා තමයි . . . "
"රංජිත් ගැන දැනගෙන තෝව ඔය ඉගෙන ගන්න කියලා යැව්වේ අඩු කුලේ එකෙක්ට දීග දෙන්න නෙමයි කියලා මට අම්මයි අප්පච්චියි තඩිබාන කොට . . .

උඹලා මහා ලොකු බෞද්ධයෝ . . ඒත් මිනිහෙක් උපතින්ම වසලයෙක් හරි බ්‍රාහ්මනයෙක් හරි වෙන්නේ නෑ තමන් කරන දේවලිනුයි ඒක තීරනය වෙන්නේ කියපු බුදුහාමුදුරුවොත් විකුනන්න පුලුවන් නම් විකුනයි මුදලි පරම්පරාවක එකෙක් ආවානම් . . .

කියලා මට අම්මල එක්ක රන්ඩුවෙන්න හයිය තිබුනේ එයා මට උගන්නපු දේවල් නිසා . . ."


"වාසගම බලලා යාලුවෝ තෝරගන්න පුරුදු වෙලා හිටි මගේ හිත එයා වෙනක් කලේ හරිම පුදුම විදීහට . . .
බුදු හාමුදුරුවෝ ශාක්‍යන්ගේ මාන්නේ බිඳපු හැටි එයා කිව්වේ මට ඇහෙන්න මගේ යාලුවෙකුට . . .
ක්ෂුද්‍රයන්ගේ ගෙයකින් දානේ වැලඳුවයි කියලා දෙතෝදන - සුදෝධන රජතුමාගේ මල්ලී කිව්වලු බුදු හාමුදුරුවන්ට අනේ අපේ කුලේ කිසි කෙනෙක් උන්ගේ ගෙවල් වලින් කනවා බොනව තියා ඒ පැත්ත වත් බලන්නේ නෑ ඇයි ඔබ තුමා අපිට මෙහෙම අපහාස කරන්නේ කියලා . .

බුදු හාමුදුරුවෝ ඇහුවලු ඔබතුමන්ලාගේ ප්‍රධාන කෑම ජාතිය මොකද්ද කියලා . .

පහල තියෙන කුඹුරු යායෙන් ලබා ගන්න හාල් වලින් ඉදෙන බත් කිව්වලු .  

ක්ෂුද්‍රයො ජීවත් වෙන්නේ කොහෙද කියලා අහුවලු . . . කුඹුරු යාය කිට්ටුව පහත්බිමේ කිව්වලු . . . . .

ඒ අය කක්ක කරන්නේ කොහේද කියලා ඇහුවලු . . .

වැසිකිලි පහසුකම් නැති උන් තැන් තැන් වල ඒ වැඩේ කරනවා ඇත්තේ කියලා කිව්වලු . . .

වැස්සට ඒ අයගේ ජරාව එකතු කරගෙන ගිහින් ඒවා රැඳෙන්නේ කුඹුරෙනේ . .

ඉතිං ඒ අයගේ ජරාවෙන් සරුවට වැවෙන හාල් වලින් හදන බත් කන්න හොඳයි නම් ඒ අයගේ ගෙදරකින් දුන්නු කෑමක් කෑවට මක් වෙනවද කියලා බුදු හාමුදුරුවෝ ඇහුවලු . ..


එයාව වාහනයකට හප්පලා කවුදෝ මරලා දාලා කියලා උඩුනුවර මාමා ඇවිත් කිව්ව දවසේ අපේ අප්පච්චිගේ මූනේ තිබුනු හිනාව මට කවදාවත් අමතක කරන්න බෑ පුතේ . . .

උන් එයාව මරා දැම්මා . . .

වංශේකබල් ගාන . . .

බුද්දාගමේ කියන්නත් ලැජ්ජ මහ ලොකු බෞද්ධයේ වෙච්චි උන් එයා අඩුකුලේ එකෙක් වෙලා වලව්වේ කෙල්ලෙක්ට ආදරේ කල පවට . . .

උන් එයාව මැරුවා පුතේ . .

එයාගෙන් මට ලැබුනු වටිනාම වස්තුව අරගෙන වලව්වේ මට හිතවත්ව හිටපු එකම එක මනුස්සයා එක්ක ඒ අපායෙන් ගැලවිලා එනවා මිසක් මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ පුතේ . . 

අනේ එයා හිටියානම් උඹට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නෑ මගේ රත්තරන්….


කියූ අම්මා මහා හඬින් අඬමින් තැන් තැන් වල අන්ඩ දැමූ චීත්තයෙන් කඳුලු පිසූ  සැටි සිහිවූ මට මේ මොහොතේදී  එදා පොඩි එකා අද පොඩි එකෙක් නොවුනත් එදා අම්මා දැවූ වේදනාව වෙනුවෙන් ඇගේ ඒ වේදනාවට ඉකිබිඳ හඩන්නද . . .

අම්මගේ අප්පච්චි වූ මුහන්දිරම් රාළහාමිට වෛර කරනවාද . . . කියා සිතා ගත නොහැකි වූ වෙනස් හැඟීම් දෙකක් එක් වරම මාව පෙලනවා වගේ දැනුනා . ..

අමුතු කතාවේ 9 කොටස ලිව්වේ
දුකා

http://dukaa.blogspot.com

5 comments:

  1. මෙතෙක් කතාවේදී අනුරාධගේ පැත්තෙන් හිතු ඔබ අද ඔහුගේ අම්මා ගැන හිතලා. එලෙළ මචන්, නියමයි!!!

    ReplyDelete
  2. අමුතුකතාවේ මීළඟ කොටස ලියන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අත උස්සලා ඒබව කියලා කොමෙන්ටුවක් දමලා යන්න.

    ReplyDelete
  3. දැන් නේ කියෙව්වේ.. මරු මරු...!!
    කවුද ඊලගට ලියන්නේ????

    ReplyDelete
  4. මටත් කොටසක් ලියන්න ආසයි. මම ලඟඳි බ්ලොග් ලියන්න ගත්තෙ කමක් නැද්ද.

    ReplyDelete
  5. දුකාගෙ කතාගැන ඉතින් කියන්න දෙයක් නැහැනෙ... එළම කිරි...

    ReplyDelete