Tuesday, July 20, 2010

අමුතු කතාවක් 15 කොටස

ඇස් පියාගත්තට අනුරාධගෙ රූපය මවාගන්න තමරිට එච්චර ලේසි උනේ නෑ.මීට සය අවුරුද්දකට කලින් තමන්ගෙ හීතල හිත පණ ගහන්න තරම් උණුසුම් තුරුලක් ලබා දුන්න අනූ තමන්ගෙ ජීවිතයෙන් ඈත්වෙන්න ගියෙ කොච්චර පොඩි කාලයක්ද?වරදකාරී හැඟීමක් හදවත තුවාල කරද්දි තමරි වේදනාව දරාගෙන තවත් තදින් දෑස පියාගත්තා.

ඒත් ඇයට මැවිල පෙනුනෙ පළවෙනි දවසෙ අනුරාධගෙ සිනාමුසු ගත විතරයි.තමන්ගෙන් ඈත්වෙලා හිටපු කාලය පුරාවටමත් අනුරාධ කියන නම සිහියට ආව විගස මනසෙ ඇඳුනෙ ඒ රූපෙමයි.පළමු බැල්මෙන්ම ඒ රූපෙ තමාගෙ හිතේ පැළපදියම් උනේ තමාටම නොදැනි වෙන්ටැති.

ඒත් ඒ රූපෙ අයිති උනේ අතීතෙට.පෙරදින නොපැතූ ලෙස තමා ඇමතූ අනුරාධ සහ පැරණි අනුරාධ අතර තිබ්බෙ පැහැදිලි වෙනසක්.ඒ කටහඬ නොතිබුණා නම් මේ මගේ අනූ යැයි තමා විශ්වාස නොකරනවා නොඅනුමානයි.මිනිහෙක්ට අවුරුද්දකින් වෙනස් වෙන්න පුලුවනිද?තමරි ඒ රුව ආවර්ජනය කලා.අනුරාධගේ මූණේ තිබ්බෙ දහසක් වධ වේඳනා විඳිලා,කැඩිලා බිඳිලා ගිය මිනිසෙකුගෙ පෙනීමක්.සති කිහිපයකින් නොබාපු රැවුල,නොසලකා හැරිය ඇඳුම.... තමරිගෙ මුවින් පිටවුනේ හද පත්ලෙන්ම නැගුන හුස්මක්.

අනුරාධ කෑලි වලට බිඳිල ගිහින් තියෙන්නෙ තමා නිසාද?වගකීම සහමුලින් බාරගන්න තරම් බර වැඩියි.තමරි කොටස් කාරයින්ව හෙව්වා.අනුරාධට තමන්ගෙ පාපකාරී උප්පත්තියෙ මූලාරම්භය සොයාගන්න පුලුවන් උනාදැයි ඇය කල්පනා කලා.විමුක්තිය හොයන් යෑමේදිත් මූලය අතෑර දා යුතු මුත් අනුරාධ හිටියෙ එකම අරමුණකින්.තම ලෙයෙහි බැඳීමත්,තම සැබෑ පියා සහ තම සිරුරේ දිවෙන ලේ වලට බැඳීමක් දක්වන කිසිවෙක් හෝ සොයාගැනීම අනුරාධගේ ආශාව වී තිබුණා.

“ඇයි අනුරාධ ඒ?”

තමරි හැමෝටම නොදැනි හොරාගත්ත පැය කීපයකදි අනූගෙ සෙවනෙ උන්න විටක තමන් නගපු පැනය මතක් කලා.
"මට ජීවිතය පටන්ගන්න හයිය මුලක් ඕනෙ.මට කියන්න පුලුවන් ඕනෙ කෙනෙක්ට මම රදා වඩුගෙදර රංජිත්ගෙ පුතා කියලා.ඒත් ඉන් එහාට මට දෙන්න උත්තර නෑ.”

අනුරාධගෙ දෑස කොහේදෝ දියවෙලා ගිහින් තිබුණා.

'මට කමක් නෑ ඔයා කවුරු උනත්'තමරි කිව්වෙ ඇත්තටම.

"ඒත් මට ඕනෙ තමී.මටයි ඕනෙ.”

"හ්ම්....”

තමරි නිහඬ උනා.මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ යකඩයා කතාවෙ යකඩයගෙ බිරිය වගේ කැත්තට පොල්ල වගේ ඉන්න ස්වර්ණා මැණික් බණ්ඩාර-අනුරාධගෙ මවට පුලුවන් උනා නම් අනූගෙ ජීවිතයත් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.

“අම්මා හරිම නිවුණ ගැහැණියක්. එදා ඉඳන් එහෙමයි. සමහරවිට අහක හිටපු සෙල්වරාජාගේ ජීවිතයත් තමන් අගාධයට දැම්මා, තව ජීවිතයක් කාලකණ්ණි කළා කියන පසුතැවීම අම්මගෙ හෘද සාක්ෂියට වධ දෙන්න ඇති. තමන්ගෙ ජීවිතය ගැන මොකුත් චෝදනා නැගුවෙ නෑ අම්මා.”

අනුරාධගෙ කටහඬේ පිරිල තිබ්බෙ උතුරල යන ආදරයක් සහ අනුකම්පාවක්.

තමරිගෙ තදින් පියවුණු ඇසිපිය අතරින් කඳුලු ධාරාවක් රූටල ඇවිත් කොපුල් තෙත් කලා.

තමරි දැනන් හිටියෙ නෑ තමන්ට ආයෙමත් හිමි වුන අනුරාධ මේ වෙද්දිත් තප්පරෙන් තප්පරය ආයෙමත් මරණයට ලං වෙන බව. මන්ත්‍රී විජේතුංගගේ ගෝලයන් සිසිල්ව බැලීමට රෝහලට ගිහින් තිබුණා. රෝගියාගේ භාරකරු අනුරාධ නදියවන් බව ඔවුන් දැනගත්තේ වෛද්‍යවරයාගේ කටින් අහම්බෙන් පිටවූ වැකියකින්. ඒත් ලෙඩාගේ ලියකියවිලි අතරින් අනුරාධගේ නවාතැන සොයාගන්න උන්ට ගියෙ සුලු වෙලාවක්. මේ වෙද්දිත් දඩ බල්ලන් උන්ගේ ගොදුර පසුපස හැල්මේ දිවයමින් සිටියා.

ඒත්....මොහොතකින් ජීවිතයක් ලබාදෙන්නත්…, සුණුවිසුණු කරන්නත් පුලුවනි.

සිසිල්ගේ දුරකතනය නැවතත් නාද උනේ අනුරාධගේ හදගැස්ම වැඩිකරමින්.

"අනූ.....”

තමාරාගේ කටහඬ මැඩගත් ඉකියක් සමග නැගුණා.

"ඇයි තමී?”

අනුරාධට ඇගේ වේදනාව වැටහුණා.

"මට ඔයාව හම්බවෙන්න ඕනෙ.අනේ ප්ලීස් අනූ.මට සමාවෙන්න”

තමාරා වෙනස් වෙලා නෑ. වරද කාගේ උනත් සමාව ඉල්ලන්නේ ඇයයි.

"ඔයා සමාව ඉල්ලන්න ඔයා කරපු වැරැද්දක් නෑ තමී.හරි මම හෙට එන්නම්.”
'අනේ ප්ලීස් අනූ.මට දැන්ම ඔයාව දකින්න ඕනෙ.'

අනුරාධ නලළ රැළි කලා.තමී කවදත් හදිසි හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න කෙනෙක්.ඒත් මේ පාන්දර එළියට බහින්න අනුරාධට හිතක් තිබ්බෙ නෑ.ඔහු තප්පරයක් කල්පනා කලා.ඒත් පිළිතුරු දෙන්න කළින් කාමරේ දොරට කවුදෝ තට්ටු කරන හඬින් අනුරාධ කැළඹුණා.

"අනුරාධ..අනුරාධ ඉන්නවද?”

ආගන්තුක කටහඬක් ගෝරනාඩු කලා.ඒ හඬ අනුරාධගේ මතකයේ ඈත කෙළවරක් කිති කැව්වා.දුම් ගඳ,පොඩි උන්ගෙ කෑ ගැසීම්,කාණු,රෙදි වැල්,කසිප්පු,බඩගින්න,අම්මගෙ ආදරය,කඩ කෑල්ල.....ඒ මතක එක්ක එකතු උන තවත් මතකයක්...

"ලයනල්??”

අමුතු කතාවේ 15 කොටස ලිව්වේ
Poppy
http://somethingfromeverything.blogspot.com

7 comments:

  1. අහ්, පොපී ද මෙදා පාර ලිව්වෙ?
    නියමයි.., නියමයි.
    :)

    ReplyDelete
  2. ඔව් Ansh..! ඇය තමයි..! ලස්සනට ලියලා තියෙනවා..! 16 කොටස ලියන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා පහතින් කොමෙන්ටුවක් දමා යන්න..!
    ජය..!

    ReplyDelete
  3. ලිෂාන් මල්ලි,
    මටත් අමුතු කතාවෙ කොටසක් ලියන්න ආසයි..ඒක 16 වෙනි කොටස වුනත් කමක් නෑ.. ඒත් ඊට කලින් පොඩ්ඩක් දැනගන්න ඕනෙ මේක moderate කරල හොඳ නම් විතරක් දාන වගෙ admin කෙනෙක් ඉන්නව ද කියල, මොකද කට්ටිය ලස්සනට ලියපු අමුතු කතාව ලස්සනට ම ලියවෙන්න ඕනෙ නිසා..

    ReplyDelete
  4. මෙහෙමයි..,
    කතාව කොටසක් ලියන්න ඔබ තීරණය කලාට ස්තූතියි..! කතාව හොඳින් කියවා බලා ලියනවා නම් අපි කුමන හේතුවක් නිසාවත් එය වෙන කරන්නේ නැහැ..! ඒත් අකුරුවිනිස ගැන පොඩ්ඩක් බලනව එච්චරයි..! කතාව ගලායාමට බාධාවක් වෙන ලෙස පෙනෙන දෙයක් දැනුනොත් රචකයාව දැනුවත් කරනවා. එසේත් නැතිනම් ඔහු හෝ ඇයගේ අනුදැනුම පිට එය වෙනස් කරන්නටත් පුලුවනි..! කොහොමත් එය තීරණය වන්නේ රචකයාගේ මනාපය අනුවයි..!
    16 කොටස ලියන්නට ගත් තීරණයට බොහෝමත් ම ස්තූතියි නැවත් වරක්..!

    ReplyDelete
  5. ස්තූතියි මේ කොටස ලස්සනයි කිව්වට :)

    ReplyDelete
  6. ස්තුතියි ලිශාන් මල්ලි, මට ඕනෙ කලෙත් ඒක කවුරු ලිව්වත් conssistant වෙන විදියට control කරනවද දැනගන්න,

    මම 16 කොටස ලියන්නම්... ඒත් ඒක එවන හැටි කාටද එවන්නෙ කියලත් කියනවද

    ReplyDelete
  7. මම යෝගියාට කිව්වා ඔයාට මගේ ඊමේල් එක දෙන්න කියලා එයා ඔයාට ලබාදේවි හරී...! :)

    ReplyDelete